Saturday 11 June 2022

ගෝල් ෆේස් ප්‍රහාරය හා නීතිය




ප්‍රහාරය අශීෂ්ඨ නම් ප්‍රති ප්‍රහාරයේ ශිෂ්ඨත්වය සොයන්න එපා. මෙය මේ දිනවල වත්පොතේ නිතර බෙදාගන්නා වැකියක්.විශේෂයෙන් ගෝල් ෆේස් අරගලයේ ගැටුමෙන් පසු මේ වැකිය තරමක් වැඩි වේගයකින් සංසරණය වීම දක්නට ලැබෙන්නක්.


සිත්ගන්නා සුළු, තරමක ගැම්මක් ඇති කරන වැකියක් වුවත් නීතිය ඉදිරියේ මෙම තත්වයට ඇති පිළිගැනීම කෙබඳුද.ආත්මාරක්ෂාව සඳහා ප්‍රති ප්‍රහාර දිමේ අයිතිය ඇතත් එහි සීමාව කොතනද?එය සීමා රහිත අයිතියක්ද?එසේත් නැත්නම් මෙය භයානක නොමඟ යවන සුළු වැකියක්ද?


ගෝල් ෆේස් ප්‍රහාරයෙන් අනතුරුව නීතිය ඉදිරියේ සමානයන් ලෙස නොසැලකීම පිළබඳව රජයට විරුද්ධව පුරවැසියන්ගෙන් සහ අරගලකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.අවසාන ප්‍රතිඵලය කෙසේ වෙතත් මෙම විරෝධය නිසාම ප්‍රහාරකයන්ට එරෙහිව යම් අකාරයක නීතිය ක්‍රියාත්මක විමක් මේ මොහොතේ දක්නට ලැබෙන්නක්.


ගෝල් ෆේස් ප්‍රහාරය සම්බන්දයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළහොත් සැබවින්ම කුමක් විය හැකිද? ප්‍රති ප්‍රහාරයේ ශිෂ්ඨ අශිෂ්ඨ බවට නීතිය ඉදිරියේදී කුමන පිළිගැනීමක් ලැබෙනු ඇත්ද? උද්දාමයෙන් පවසන අලංකාර වැකි සහ යථාර්තය අතර ඇත්තේ බරපතල නොගැලපිල්ලකි.ම්ලේඡ්ච ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නිරායුධ පිරිසකට බව සත්‍යයකි.ප්‍රති ප්‍රහාරය, ප්‍රහාරය මෙන් ම්ලේඡ්ච නොවූ බව ද සත්‍යයකි. එසේ වුවද එය කිසිවිටෙකත් ආත්මාරක්ෂාවේ සීමාව තුල රැඳී නොසිටි බවද පිළිගත යුතුය.


මෙතෙක් කල් සිදු වූයේ මහින්ද කහඳගමලාගෙන් මෙරට ජනයා ගුටි කැමයි.එය අනෙක් පිට පෙරලුනේ ප්‍රථම වතාවටයි.එය මෙරට බොහෝ පිරිස් උද්දාමයට පත් වූ කාරණයකි.නමුත් නීතිය සිදුවීම් අර්ථකතනය කර ගන්නේ උද්දාමයෙන් නොවේ.බේරේ වැවට මිනිසුන් ඇද දැමිම,මිනිසුන් සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍ර කිරිම සහ කාන්තාවක්  බලහත්කාරයෙන් රැගෙන යමින්  ඇය ලවා ගෝටා ගෝ හෝම් යනුවෙන්  කියවීම  වැනි දෑ නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වැරදි වේ.මේ කිසිම වැරැද්දක් ප්‍රති ප්‍රහාරයේ අශිෂ්ඨත්වය නොසෙවීමේ න්‍යයයෙන් ආවරණය කරනු නොලබයි.සාධාරණ පරීක්ෂණයක් තුල සත්‍ය වශයෙන්ම සිදු විය හැක්කේ ප්‍රහාරකයන් පමණක් නොව ප්‍රති ප්‍රහාර දුන් අරගල කරුවන්ද වැරදි කරුවන් වී දඬුවම් ලැබීමයි.වෙනත් ආකාරයකින් පවසන්නේ නම් අරගල කරුවන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීමෙන් කරනු ලබන්නේ තමන්ටද දඬුවම් කරන ලෙස ඉල්ලිමයි.තරමක් හාස්‍ය ජනක වුවත් සත්‍ය එයයි.


සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බොහෝ දෙනෙකුට නොතේරෙන කාරණාවද මෙයයි.ඔවුන් සැම දෙනෙකුගේම ප්‍රාර්ථනාව වන්නේ මහින්ද රාජපක්ෂගේ මැරවරයන්ට පමණක්  දඬුවම් පැමිණවීමයි. ඒ සෑම කෙනෙකුම සිතන්නේ ප්‍රති ප්‍රහාරය සියයට සියයක් නිවැරදි  බවයි. 


මෙම අනවබෝධය නිසා රට තුල සංකීර්ණ ගැටළුකාරී තත්වයන් ඉස්මතු විය හැකිය.අරගලකරුවන්ට නීතියෙන් දඬුවම් දීමක් සිදු වුවහොත් මහජනයා තුල කැළඹිල්ලක් හට ගැනිමට බොහෝ සේ ඉඩ ඇත.එසේ කියා අරගලය කරුවන් අතහැර පහරදුන් මැරවරයන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරිම කිසි විටෙකත් සිදු කළ නොහැකිය.ගැටළුව ඇත්තේ මඟ සිටියොත් තා නසී ගෙදර ගියොත් අඹු නසී තත්වයකයි.සාධාරණ පරීක්ෂණයක් පැවැත්විම තුල මෙවැනි තත්වයන් සමනය වූවත් මෙහි ඇත්තේ එවැනි වට පිටාවක් නොවේ.සිදු විය හැක්කේ සිදු කරනු ලබන සර්ව සාධාරණ පරීක්ෂණයක් තුල පවා අර්බුදය තව තවත් සංකීර්ණ විමයි.මෙය සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තත්වයකි.මෙහි ඇති විශේෂ ගති ස්වභාවය අවබෝධ කොට ගෙන ඉතා ප්‍රවේසමෙන් මෙම ගැටළුව කළමණාකරණය කර ගත යුතුය.


අප සිටින්නේ සියළු බේද අමතක කොට එක්විය යුතු මොහොතක විනා බේදී වෙන්වි කුළල් කා ගත හැකි මොහොතක නොවේ.සියලු දෙනාම මෙය අවබෝධ  කොට ගෙන ක්‍රියා කළ යුතුය. 


ඡායාරූපය අන්තර්ජාලයෙන්












 









No comments:

Post a Comment