Tuesday 5 May 2020

වැළිසර නාවික කඳවුර කියා දෙන පාඩම





පසු ගිය යුධ සමයේ යුධ සැළසුම් සකස් කිරීමට වෛද්‍යවරුනට පැවරුවේ නම් කුමක් සිදු වන්නට තිබුනේද? බැලූ බැල්මට එය හාස්‍ය ජනක වනවා පමණක් නොව ඉතා විනාශකාරි තත්වයක්ද නිර්මාණය වන්නට ඉඩ තිබුනි.දැන් එහි අනෙක් පැත්ත සිදු වෙමින් පවතී.එනම් වසංගත රෝග වි‍ශේෂඥයින් පසු පෙලට ඇද දමා එසේ නොවන කොටස් විසින් සැළසුම් සකස් කිරිම සහ ක්‍රියාත්මක කිරිමයි.මෙහි ඇති භයානකකම වැළිසර නාවික හමුදා කඳවුරේ සිදුවීමෙන්ම පැහැදිලි විය යුතුය.



රෝග මර්ධන ක්‍රියාවලියෙහි යෙදෙන පිරිසට රෝගය බෝ වීමේ හැකියාව ඉතා ඉහලය. මේ නිසා ඔවුන් රෝග වාහකයන් වීමේ ඉඩකඩද ඉතා ඉහලය.මෙය අප කවුරුත් දන්නා සාමාන්‍ය කරුණකි.මේ නිසාම ඔවුන් සම්බන්දයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේසම් සහගත විය යුතුය.ඔවුන්ගේ ආරක්ෂාවට මෙන්ම ඔවුන්ගෙන් සමාජයට රෝගය පැතිරීම වැලැක්වීම සදහා වි‍ශේෂ ක්‍රමවේදයන් සකස් කර ගත යුතුව තිබුනි.වැලිසර නාවික හමුදා කඳවුරේ සිද්ධියෙන් පෙනෙන්නේ එය එසේ වී නොමැති බවයි. නාවික හමුදා භටයන්ට රෝගය වැලඳී තිබූ බව නොදැන සිටිම සහ ඔවුන් නිදහසේ ගම් බිමි බලා යාමෙන් පෙනී යන්නේ මෙම වසංගත තත්වය මර්ධනය කිරීමෙහිලා සකස් කොට ඇති සැළසුම් කෙතරම් දුර්වල තත්වයේ තිබුනේද යන්නයි.


පළමු කොට අප විසින් අවබෝධ කොට ගත යුත්තේ රෝගීන් සමග සමීපව කටයුතු කරන කවරෙකු හෝ වේවා ඔවුන්ද අප වැනිම වූ මිනිසුන් වන බවයි.වැඩිම අවදානමකට මුහුණ දෙන්නේ ඔවුන්ය.අපට රෝගය බෝ වන්නේ නොදැනය.මොවුන් රෝගියා හා කටයුතු කරන්නේ රෝගියෙකු බව දැන දැනමය.මේ නිසාම රෝගය ආසාදනය වීමෙන් වැළකීම සඳහා අවශ්‍ය පහසුකම් උපරිම වශයෙන් සළසා දිය යුතුය.එසේ නොවන්නේ නම් එයින් අර්ථවත් වන්නේ අප ඔවුන් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කර නැති බවයි.


මෙම දුර්වල සැලසුම් නිසා අපට ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල විය හැකිය.ඉතා අසීරුවෙන් ආරක්ෂා කරගෙන ආ කළාප ක්ෂණයකින් අවදානම් කළාප බවට පත්විය.මින් සිදු වන හානිය දැක ගැනීමට තව සති කීපයක් ගතවිය හැකිය.මෙය සරළ අතපසු විමක් නොව ඉතා බරපතල ගනයේ වැරදිමකි.එය එසේ වූයේ ඇයි.මෙය තරමක් සංකීර්ණ තලයේ සාකච්ඡා කළ යුතු කාරණයකි.


අපි මැලේරියාව සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කළ දැමූවෝ වෙමු.නමුත් එසේ කල අපිට ඩෙංඟු මහත් අභියෝගයක් වී ඇත.එක්තරා ආකාරයකට ඩෙංඟු රෝගයේ ඇති විශේෂ ගති ලක්ෂණ යම් තාක් දුරට එයට හේතු වන්නට ඇතත් ප්‍රධානම හේතුව අනෙකකි.මැලේරියා මර්ධන ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෝ වසංගත රෝග මර්දනයෙහිලා සිටි හොදම විශේෂඥයින් විය.සැළසුම් සකස් කලෝ ඔවුහුය.රට තුල ක්‍රියාත්මක වූයේ එම සැළසුම්ය.ඊට පිටින් වෙනත් සැළසුම් හෝ වෙනත් අධිකාරී බලයක් ක්‍රියාත්මක නොවිය.ප්‍රතිඵලය වූයේ අප මැලේරියාවෙන් නිදහස් විමයි.


නමුත් කාළයාගේ ඇවෑමෙන් රාජ්‍ය ආයතන දැඩි ලෙස දේශපාළනීකරණය වන්නට විය.අද වන විට සියළු රාජ්‍ය ආයතන ඇත්තේ දේශපාළනය විසින් දුර්වල කරනු ලැබූ  ආයතන ලෙසින් විනා කාර්යක්ෂම ආයතන වශයෙන් නොවේ.එහි ඉන්නේ දේශපාළන හිතවත්කම මත පත් වූ පාළකයන්ය.විෂයානුබද්ධ දැනුමක් ඇති කාර්ය ශූර ආයතන ප්‍රධානින් ආයතන තුල ඇත්තේ නැත.මැළේරියාවට සාර්ථකව මුහුණ දුන් අපට ඩෙංගු රෝගය මැඩ පවත්වා ගැනිමට නොහැකි වි ඇති කාරණය මෙයයි.වසංගත රෝග විශේෂඥයින් ඉන් පිටමං කර ඇත.කොරෝනා සටනේදී ද මේ ගැටළුවට අප මුහුණ දී ඇත.එනම් සැලසුම් සකස් කරන තීන්දු තිරණ ගන්නා බල අධිකාරිය සකස් වි ඇත්තේ වසංගත රෝග පිළිබඳ විශේෂඥයින්ගෙන් නොවේ.


මට දැනෙන ආකාරයට අනෙක් ගැටළුව වන්නේ මේ අවස්ථාවේ දී බල අධිකාරි ආයතන කීපයක් සම මට්ටමින් ක්‍රියාත්මක වීමයි.එනම් සෞඛ්‍ය අංශය එක් පසෙකින් ක්‍රියාත්මක වන විට ඊට සමගාමීව ත්‍රිවිධ හමුදාව වෙනම ක්‍රියාත්මක වේ. මෙය සුභවාදි තත්වයක් නොවේ.


ඕනෑම රටක් මුහුණ දෙන විපත්තිදායක අවස්ථාවන්හී දී ත්‍රිවිධ හමුදාවන් විසින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරනු ලබයි.ඒ ඔවුන් සතු ශ්‍රම ශක්තිය නිසයි.තරුණ ජවයද එඩිතරකමද මුසු වූ කල ඔවුන් විසින් ඉටු කරනු ලබන කාර්ය භාරය ඇත්තේ අති විශිෂ්ඨ මට්ටමකයි.එය ගරු කටයුතුය.අවසාන ජයග්‍රහණය සඳහා මෙම ගති ලක්ෂණ ප්‍රබල බලපැමක් එල්ල කළ ද ජයග්‍රහණයේ වැදගත්ම සාධක වන්නේ මේ කිසිවක් නොවේ.ඕනෑම සටනක ජය පරාජය තීරණය කරනු ලබන වැදගත්ම සාධකය වන්නේ නිවැරදි සැළසුමයි. අප විසින් අවබෝධ කර ගත යුතු සත්‍යය මෙයයි.යම් ගැටළුවක් මතු වු විට පිළිතුරු සෙවීමට අදාල විෂය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික උගතුන් එසේත් නැතිනම් එම විෂය පතයේ සිටින හොඳම විශේෂඥයින් අප යොදා ගත යුතුය.ගැටළුවට සාර්ථකව පිළිතුරු සෙවිය හැක්කේ එවිටයි.යුද්ධය හා වසංගත රෝග යනු එකක් නොව දෙකකි.යුද්ධයට සාර්ථකව මුහුණ දුන් නිසා වසංගත රෝග මර්ධනයද අපට කළ හැකි යැයි සිතීම අනුවන කමකි.යුධ විශේෂඥයින් ත්‍රිවිධ හමුදාව තුල සිටින බව සත්‍යයකි.නමුත් වසංගත රෝගී අවස්ථාවකදී එම විශේෂඥ උපදෙස් වලට ඔවුන් අවනත විය යුතුය.තමන්ට එවැනි දැනුමක් නොමැති බව අවබෝධ කර ගැනිමට තරම් නිහතමානීකමක් තිබිය යුතුය.එසේ නොමැති වුවහොත් සිදු වන්නේ වැළිසර නාවික හමුදා කඳවුරේ සිදුවිම වැනි සිදුවීම් වලට නැවත නැවතත් අපට මුහුණ දීමටය.         


No comments:

Post a Comment