Saturday 19 June 2021

එන්නත්කරණය සහ අශීලාචාර භූමි දර්ශන

 


 එන්නත්කරණ වැඩසටහන යටතේ ගර්භනී  මව්වරුනට එන්නත් ලබා දිම අද ආරම්භ උනා.එහි සමාරම්භක උත්සවය බොරැල්ල කාසල් රෝහලේ දී පැවැත් උනේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන්.


ඉහත ප්‍රවෘත්තිය පසුගිය 09 වෙනි බදාදා ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රී දහයේ පුවත් විකාශයෙන් ඉදිරිපත් කරන ලද පුවතකි.


එක්විටම නැගෙන ප්‍රශ්ණය වන්නේ ශිරන්ති රාජපක්ෂ සහභාගී නොවූයේ නම් සහ සමාරම්භක උත්සවයක් නොපැවැත්වූයේ නම්  සිදු වන්නේ කුමක්ද යන්නයි.එයට දිය හැකි ශීලාචාර පිළිතුරක් ඇත්ද?සමාරම්භක උත්සවය යන්න මෙහි භාවිතා කර ඇත.මෙවැනි ව්‍යසනයකදී සිදුවිය යුත්තේ එන්නත්කරණ උත්සව පැවැත්වීමද?පැහැදිලිවම මෙය අපගේ අශීලාචාර දේශපාලනය විනා අනෙකක් නොවේ.මෙයින් ඇඟවෙන එක් කාරණයක් වන්නේ අපගේ රාජ්‍ය අංශය කොතරම් දේශපාලනීකරණය වි ඇත්ද යන්නයි.මෙවැනි බරපතල තත්වයකදී පවා නිලධාරීන්ට මෙම අශිෂ්ඨ පුරුදු වලින් මිදීමේ හැකියාවක් ඇත්තේ නැත.


අතීතයේ කෙසේ වෙතත් වර්ථමානයේ දී අප කෙතරම් අශීලාචාර ජාතියක් බවට පත්ව ඇත්ද යන්න කෙනෙකුට අවබෝධ කර ගැනීමට නම් සිදු කළ යුත්තේ කොරෝනා ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන මුල සිට අගට නැවත හොඳින් විමසා බැලීමයි. එය එහෙම පිටින්ම අශීලාචාර බවේ සහ අසමත් භාවයේ ප්‍රකාශනයකි.


විශේෂ තත්වයන් යටතේ ප්‍රමුඛතාවය ලැබිය යුතු පිරිස් හැරෙන්නට අනෙකුත් සියළු පුරවැසියන්ට එන්නත ලබා ගැනීම වෙනුවෙන් ඇත්තේ සම අයිතියකි.නමුත් සිදු වන්නේ වෙනත් දෙයකි.සමාජයේ සිටින විවිධ කණ්ඩායම් තමන් සතු බලය උපයෝගී කොට ගෙන බලහත්කාරයෙන් එසේ නොමැති නම් විවිධ අනියම් ක්‍රම මගින් එන්නත ලබා ගැනීම දැකිය හැකිය.මෙය ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකි.


පූජකයන්, නළුවන්, ගායකයන්,ජනමාධ්‍යවේදින් යනුවෙන් විවිධ ආකාරයට කණ්ඩායම් ගත වන පිරිස් අනෙකුත් පිරිස් වලට ප්‍රථමයෙන් තමනට එන්නත ලැබිය යුතු බව කියා සිටිති.අනෙකුන්ට වඩා තමන් විශේෂ කොට්ඨාශයක් බව අඟවා සිටියි.එය ලබා ගැනිමට තමන් සතු බලය යොදවයි.වෛද්‍යවරුන් තමන්ගේ පවුලේ සාමාජිකයින්ට එන්නත ලබා ගැනීමට තම බලය යෙදවූ අතර ඒ ආදර්ශයට ගනිමින් අනෙකුත් සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන වෙනත් රාජ්‍ය සේවයේ කොටස්ද සිය පවුලේ සාමාජිකයන්ට එන්නත ලබා ගැනීමට රජයට බලපෑම් කරමින් සිටියි.විවිධ අනියම් ආකාර වලින් එන්නත ලබා ගන්නා පුද්ලයන්ට එය රැක ගත යුතු රහසක් නොව වීර කමකි. තාම ඉන්ජක්ෂන් එක ගහ ගත්තේ නැද්ද?මම නං ගම්පහට ගිහින් ගහ ගත්තා.යනුවෙන් පුරසාරම්ද දොඩති.අප කෙතරම් අශීලාචාර ජාතියක් බවට පත්ව ඇත්ද?


දේශපාලකයන් සුපුරුදු පරිදි එන්නත්කරණය සිය පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතියේම කොටසක් බවට පෙරළාගෙන ඇත.සිය බලය යොදා තම අධාරකරුවන්ට එන්නත ලබා දීම කිහිප තැනකින්ම වාර්තා විය.වාර්තා නොවූ සිද්ධීන්ද ඇත.මෙවැනි අවස්ථාවල එන්නත් කරණය සඳහා වෛද්‍යවරුන් සහභාගීවන්නේ තම වෘත්තීය ගරුත්වයද කෙ‍ලෙසා ගනිමිනි.


වසංගතයෙන් බේරීමට ඇත්තේ එකම මගකි.එනම් එන්නත්කරණයයි.නමුත් විවිධ ගැටළු නිසා රටකට අවශ්‍ය එන්නත් සියල්ල එකවිට ලැබෙන්නේ නැත.ලැබෙන එන්නත් ප්‍රමාණය ඵලදායි සහ සාධාරණ ආකාරයකට භාවිතා කළ යුතුය.විද්‍යනුකුල ප්‍රමුඛතා ලයිස්තුවක් අවශ්‍ය වන්නේ එහෙයිනි.නමුත් මේ දක්වාම එවැනි වැඩසටහනක් නිර්මාණය කර ගැනීමට වගකිවයුතු නිලධාරින් සමත් වූයේ නැත.එන්නත්කරණය සම්බන්දයෙන් එකිනෙකට වෙනස් චක්‍ර‍ලේඛ කීපයක්ම නිකුත් වීමෙන් පෙනී යන්නේ රාජ්‍ය අංශයේ ඇති අසමත් භාවයයි.මෙයින් සිදුවන්නේ තත්වය තව තවත් ව්‍යකූල කිරිම පමණකි.


පුරවැසියන් ගැන සියළු තොරතුරු නිලධාරින් සතුව තිබිය දීත් අපහසුතාවයකින් තොරව එන්නත ලබා ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට නිලධාරින්ට නොහැකි විය.සමහර තැන් වල එය පැය පහක පමණ රස්තියාදුවක් විය.එය සිහිය විකල් වන තත්වයකි.අනිත් අතින් එය දේශපාලකයන්ට ඇඟිලි ගැසීමට සුදුසු පරිසරයක්ද නිර්මාණය කරනු ලබයි.

  

වසංගතයට සාර්ථකව මුහුණ දිය හැක්කේ එක්ව මිස වෙන් වෙන්ව නොවේ.අවාසනාවකට අප සමාජයෙන් දිස් වන්නේ මෙහි අනෙක් පැත්තයි.එනම් කෙසේ හෝ අනෙකාව පසෙකට ඇද දමා තමා ප්‍රථමයෙන් ආරක්ෂා වීමට දරන උත්සාහයයි.මෙවැනි දරුණු වසංගත තත්වයකදී පවා අපගේ ජීවිත රැඳී ඇත්තේ අප සතු සිවිල් බලය මත වීම කෙතරම් ඛේදවාචකයක්ද?මෙම තත්වය හොඳින් නිරූපනය වන පුවතක් ලංකාදිප වෙබ් පිටුවේ පලවිය.එනම් ආදාහනය කිරීම සඳහා ආදාහනාගාරය තුල තැන්පත් කර තිබූ මියගිය කොරෝනා රෝගී කාන්තාවකගේ මල සිරුර ඉහල අණකින් නැවත එලියට ගෙන පසුව ගෙන ආ මල සිරුරක් ආදාහනය කිරිම එම පුවතයි.උපතේ සිට මරණය දක්වාම අප සඳහා බලපානුයේ  සාධාරණත්වයේ න්‍යය නොව බලයේ න්‍යයයි.

5 comments:

  1. අකුරු වල ප්‍රමාණය අඩු කළා නම් කියවන්න ලේසියි.

    ReplyDelete
  2. අදයි මේ පැත්තට ආවේ. කිව්වත් වගේ අකුරු වල ප්‍රමානය ටිකක් අඩු කරානම් හොදයි. කියවන්න පහසුයි එතකොට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් දැක්විමට.

      Delete
  3. සමහර ආයතන සඳහා ඇතුළුවීම සඳහා කෝවිඩ් එන්නත ලබාදීමේ සටහන අනිවාර්ය කරන බව ප්‍රතාශ කිරීමෙන් පසු එක් සංවිධානයක් එවැනි සටහන් හොරට මුද්‍රණය කර බෙදා හැරීමේ අවස්ථාවක් ගැන ප්‍රවෘත්ති වාර්තාවක් අද වාර්තා වී තිබුණා.

    ReplyDelete