Sunday 29 August 2021

එන්නත්කරණයේ අතුරු කතා

                                                                     


 එන්නත්කරණයේ තවත් අදියරක් පසුගිය සතියේ අපේ ගමේ ක්‍රියාත්මක උනා.පළමු සහ දෙවන මාත්‍රා දෙකම ලබාදුන් නිසා විශාල සෙනඟක් පැමිණ සිටියා.මුල් පැය කිහිපයේ පැමිණ සිටි පිරිසට පැය තුනහමාරකට වැඩි කාළයක් රස්තියාදු වීමටත් සිදු උනා.


 මීට පෙර අවස්ථාවන්හී සිදු වූ ආකාරයටම මෙවරද තෝරාගෙන තිබුනේ  ගමේ පන්සළයි.  පන්සලේ වැඩ වසන ගුණානන්ද හාමුදුරුවන්ට රෝගය වැළඳිම නිසා  රෝහල් ගත වීමට සිදුව තිබුනා.ඒ නිසාම පන්සල ඒ අවස්ථාවේ තිබිය යුතුව තිබුනේ නිරෝධායනය කර වසා දැමිය යුතු තත්වයෙන්.නිරෝධායනය කර වසා දැමිය යුතු ස්ථානයක් එන්නත්කරණය සඳහා යොදා ගැනීම තේරුම් ගත යුත්තේ කෙළෙසද? එවැනි අවදානමක් දරා ගනිමින් ඒ සදහා පන්සල යොදා ගෙන තිබුනේ පන්සලට කිළෝමීටරයක් ඇති නැති දුරින් ප්‍රාථමික විද්‍යලයද තිබිය දී.


මේ වන විටත් මේ ප්‍රදේශය වසංගතය ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රදේශයක්.එවැනි වටපිටාවක් මැද එන්නත්කරණය කිරිමට වුවද විශාල පිරිසක්  එක විට එකතු වීම විශාල අවදානම් සහගත දෙයක්.අවදානම අවම කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් සකසා ගැනීමට කිසිම උත්සාහයක් ගෙන තිබූ බවක් පෙනෙන්නට තිබුනේ නෑ.පළමු එන්නත ලබා ගැනීමේදී අපගේ දුරකථන අංක ලබා ගත් බැවින් එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පිරිස් එකට එකතු වීම අවම කර ගැනිම පහසුවෙන්ම කර ගත හැකිව තිබූ දෙයක්.අවම වශයෙන් දිනය පිළිබඳව නිල දැනුම් දීමක් හෝ කර තිබුනේ නෑ.ඒ සියල්ල කට කතා වලට භාර කොට තිබුනා.


නිරෝධායන නීති යටතේ මහජනයා එක්රැස් වීම අවම කොට ඇති අවස්ථාවක  අවදානම් කළාපයක මෙසේ අවිධිමත් ආකාරයට, එන්නත්කරණය සඳහා වුවද පිරිස් රැස් කිරීම කොතරම් දුරට නිවැරදි ක්‍රියාවක්ද? මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල සඳහා කෙතරම් බලපෑමක් සිදුවන්නේද?සෞඛ්‍ය බලධාරීන්ට මෙය නොවැටහෙන්නේ මන්ද? මෙවැනි වටපිටාවක ඒ සඳහා ගැලපෙන ප්‍රශස්ථ වැඩසටහනක් නිර්මාණය කර ගැනිමට ඔවුන් උත්සාහ නොගන්නේ මන්ද?


ගිය මස පළමු මාත්‍රාව ලබා දීමේ දී අංක ලබා දීමක් සිදු කළ අතර මාගේ අදහස වූයේ මෙවැනි විශාල පිරිසකට අංක ලබා දීම අසාර්ථක ක්‍රමයක් වන බවයි.මාගේ අදහස නිවැරදි විය.මා එහි යන විටත් අංක පිලිවෙලට පෝලිම සකසා ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනිමින් තිබින.මා පවසා සිටියේ එය නවතා දමා පැමිණි පිළිවෙලට පෝළිමේ සිටින ලෙස පවසන ලෙසත් එසේ නොවුන හොත් අනවශ්‍ය ගැටුම් ඇති විය හැකි බවත්ය.


එන්නත ලබා ගැනීමට වේලාවක් වෙන් කර ගැනීමට වට්ස්අප් හරහා පහසුකම් සපයා දී තිබු අතර මගේ නිගමනය වූයේ එන්නත්කරණය සිදුවන ස්ථාන හා එහි ස්වභාවය අනුව එවැනි තාක්ෂණික ක්‍රියාවලියක් සිදු විය නොහැකි බවයි.මාගේ නිගමනය නිවැරදි විය.ඒ ගැන කිසිම හාවක් හූවක් එහි තිබුනේ නැත.


එන්නත්කරණ ක්‍රියාවලිය තුල අපහසුතාවයන්ට පත් වන්නේ අප පමණක් නොවේ.සෞඛ්‍ය සේවකයන්ද දැඩි කායික හා මානසික පීඩාවන්ට ගොදුරු වෙති.විශාල පිරිසක් එන්නත් කිරීමේදී අතට දැනෙන වේදනාව සුලුපටු විය නොහැක.කායික හා මානසික විඩාවට පත්වීමෙන් සිදු වන්නේ එහි ඵලදායිතාවය තව තවත් හීන වීමයි.සාර්ථක වැඩසටහනකින් මේ දෙපාර්ශවයම සුවපත් විය යුතුය.කණගාටුවකට මෙන් එසේ වන්නේ සමහර තැන්වල පමණි.

ඡායාරූපය අන්තර් ජාලයෙන්  


  


  






  

No comments:

Post a Comment