Tuesday 21 April 2020

මැතිවරණ උන්මාදය





කස කාරයා පැමිණෙන විට පෙරහැර පැමිණෙන බව අපි දනිමු.පෙරහැර පැමිණිමට පටන් ගෙන ඇත.මැතිවරණ කොමිසම වෙත  විවිධ චෝදනා රජය පාර්ශවයෙන් එල්ල වීමට පටන් ගෙන ඇත.ඊට සමගාමිව වත් පොතේද මහින්ද දේශප්‍රිය මහතා ඉලක්ක කොට පහත් පෝස්ටු පලවීමට පටන් ගෙන ඇත.මෙම මැතිවරණ උන්මාදය විසින් ඉතා අසීරුවෙන් පාළනය කොට ගෙන ඇති වසංගත තත්වය පැතිර යාමේ අවධානම නැවත ඉස්මතු කරවයි.



සෞඛ්‍ය අංශය වසංගත තත්වය එක්තරා දුරකට පාළනය කරගනිමින් යම් සතුටු දායක තත්වයක සිටින බව ඇත්තකි.නමුත් අප සිටින්නේ අත්පුඩි ගසමින් විනෝද විය හැකි මට්ටමක නොවේ.පය බුරුල් කළ සැනින් ඉබ්බා පැන යා හැකිය.දකුණු කොරියාවේ 31 වෙනියාගේ කතාවෙන් අවබෝධ කරගත යුත්තේ එයයි.දකුණු කොරියාවේ සහ ජපානයේ හොකයිඩෝ දූපතේ ඇති වි ඇති නව තත්වයන් සැළකිල්ලට ගැනීමේ දී මෙම තත්වයේ ඇති බැරෑරුම්කම ගැන අවබෝධ කර ගත හැකිය.නමුත් රජයට අවශ්‍ය වී ඇත්තේ මෙම තත්වය ප්‍රයෝජනයට ගෙන ඉක්මනින් මැතිවරණයකට යාමටය.මෙය මාරාන්තික ක්‍රීඩාවකි.මේ අවස්ථාවේ මැතිවරණයකට ගියහොත් සෞඛ්‍ය අංශ මහත් ආයාසයෙන් ඇතිකරගත් මෙම තත්වය විනාශ වි යා හැකිය.


රජයක් නොමැතිව රටක් පැවතිය නොහැකිය.විශේෂයෙන් මෙවැනි අර්බූද සමයකදී. නමුත් පිළිගත යුතු සත්‍ය නම් මෙම අවස්ථාවේ මැතිවරණයකට යාමේ මොනම හැකියාවක් හෝ නොපවතින බවයි.එසේ නම් කළ හැකි එකම දෙය වන්නේ පාර්ළිමේන්තුව කැඳවා සියළු දෙනා එකතු වි මෙම අභියෝගයට මුහුණ දීමට කටයුතු කිරීමයි.නමුත් ජනාධිපති පාර්ශවයෙන් එවැනි දෙයකට උත්සාහ ගැනීමක් ගැන පෙනෙන්නට.ඇත්තේ නැත.ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ මැතිවරණයක් දිනා ගන්නටයි.එයට ඇති බාධකය වන්නේ මැතිවරණ කොමිසමයි.කොමිසමට පහර දෙන්නේ එබැවිනි.අවිනිශ්චිත තත්වය පහවී රට සාමාන්‍ය තත්වයට පත්වෙන්නේ කවදාදැයි නිශ්චිතවම පැවසිය නොහැකිය.


මෙවැනි සංකීර්ණ තත්වයක් හමුවේ ක්‍රියා කරන ආකාරය සඳහන් නීතිමය ප්‍රතිපාදන මැතිවරණ කොමිසමට ඇති බව සිතිය නොහැකිය.ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මොනම හෝ හේතුවකට මැතිවරණය මාස තුනකට වඩා කල් දැමිය නොහැකිය. ඒ අනුව අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්විය යුතුය.නමුත් උද්ගත වි ඇති තත්වය ගැන සැළකීමේ දී මේ අවස්ථාවේ මැතිවරණයකට යාම සියදිවි හානි කර ගැනීමකට වැඩි දෙයක් වන්නේ නැත.මේ තත්වය මත ව්‍යවස්ථා අර්බූදයකට රට ඇද වැටෙන බව සියළු පාර්ශවයන් අවබෝධ කර ගත යුතුය.මෙම තත්වය සමනය කර ගත හැකි වන්නේ සියළු දෙනා  එකතු වි ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුල ඇති කර ගන්නා එකඟත්වයකින් පමණි.එසේ නොමැති වුවහොත් සිදු වන්නේ රට හිතුවක්කාරි ඒකාධිපති පාළනයකට යට වීම පමණි. 


 ජනාධිපති පාර්ශවය ක්‍රියා කළේ මහ මැතිවරණයෙන් 2/3 ලබා ගැනීමේ විශ්වාසය මතයි.වසංගතයේ බලපැම එල්ල වෙමින් තිබියදීම පාර්ළිමේන්තුව විසුරුවා හැරිය කාරණය එයයි.නමුත් දැන් තත්වය සංකීර්ණ වී ඇත.ඉදිරියේ ඇති විය හැකි තත්වයන් ගැන පුරෝකථනය කළ නොහැකිය.කාරණා දෙකක් සම්බන්දයෙන් අවධානය යොමු කළ හැකිය.පළමුවන කාරණය වසංගත තත්වය දරුණු අතට හැරුණහොත් ඇතිවන දේශපාළන අවාසියයි.දෙවන කාරණය මේ හේතුව නිසාම ඇතිවන ආර්ථික කඩා වැටිම හේතු කොටගෙන ඇතිවන අවාසියයි. රජයේ සියළු ආදායම් මාර්ග ඇහිරි ඇති තත්වයක් තුල දිගින් දිගටම නිවෙස් තුලට සිර වී සිටින ජනතාවට සහනාධාර සැපයිම පුළු පටු අභියෝගයක්  නොවේ.මෙම අවිනිශ්චිත තත්වයන් තුල 2/3 ලබා ගැනිමේ පෙර වූ විශ්වාසය අභියෝගයට ලක්විය හැකිය.ජනාධිපති පාර්ශවය සළිත වි ඇති හේතුව මෙයයි.


විපක්ෂයටද මේ මොහොතේ පැවරී ඇති ඓතිහාසික කාර්ය භාරය ඔවුන් අවබෝධ කර ගත යුතුය.මේ ඔවුන්ගේ පෞද්ගලික දේශපාළන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැඟීමට හැකි කාලයක් නොවේ.එය හකුලා පැත්තකින් තැබිය යුතුය.පොදු වැඩපිළවෙකට එකඟ වි පාළක තන්ත්‍රයට මෙම අභියෝගය ජය ගැනිමට සහයෝගය දිය යුතුය.පාළක තන්ත්‍රයද විපක්ෂයේ සහයෝගය දිනා ගැනිමට කටයුතු කළ යුතුය.ඒ සදහා ඇති උනන්දුව විපක්ෂය තුල විශ්වාසයක් ඇති කළ යුතුය.තමන් දරණ උත්සාහය විපක්ෂයේ විශ්වාසයට හේතු විය යුතුය.එසේ නොමැතිව මෙම අභියෝගය ජය ගත නොහැකිය.


 මෙයද යුද්ධයකි.යුද්ධයකදී බොහෝ විට ඍජුව අනතුරට මුහුණ දෙන්නේ සොල්දාදුවා පමණි.මෙහිදී රෝගියා සමඟ සමීපව කටයුතු කරන පිරිස පමණක් නොව ඔවුන්ගේ සියළු සමීපතමයන්ද රෝගය බෝවීමේ අවදානමට මුහුණ දෙයි.ඒ අතින් මෙය ආයුද වලින් කෙරෙන යුද්ධයකට වඩා භයානකය.විනාශයද ඊට වැඩි විය හැකිය.මේ සියළු දෙනාගේ වගකිම පැටවෙන්නේ රටේ පාළකයා මතයි.පාළකයා විසින් ගනු ලබන තීන්දු තීරණ මත රටේ පුරවැසියාගේ ඉරණම තින්දු කරනු ලබයි.
   

No comments:

Post a Comment