Friday 27 May 2022

ගෝල් ෆේස් ලියවිල්ලක්




විවිධ දේශපාලන විග්‍රහයන් තිබිය හැකි වුවත් රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය පිරිනැමිම යනු ආණ්ඩුවේ බරපතල පරාජයක් මෙන්ම වඩා අවමන් සහගත පසුබැසීමක් බව කිව යුතුය.මෙය ගෝල් ෆේස් අරගලකරුවන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකිය.විශේෂයෙන්ම ගෝඨාභය විසින් නඩත්තු කරනු ලැබු අධි මාන්නක්කාර චරිත ලක්ෂණ හා සැසඳිමේදී මෙය වඩාත් කැපී පෙනෙන සුළුය.මෙතරම් කැළඹුනු දවස් කීපයක දී සන්සුන් වන්න යැයි කීමට රට වැසියා ඉදිරියට ඒමටවත් ජනාධිපතිට ආත්ම ශක්තියක් නොවීය.


මෙය අරගලයට රජය හා ගනු දෙනු කල හැකි හොඳම අවස්ථාවයි.අරගලය එයට සූදානම්ද?මා සිතන්නේ පිළිතුර නැත යන්නයි.රජය හා ගනු දෙනු කල හැකි,රටේ සම්පූර්ණ වෙනසක් සඳහා වන දියුණු  ලියවිල්ලක් අප දැක නැත.මහජනයා වෙත එවැනි ලියවිල්ලක් ඉදිරි පත් කර ඇත්තේද නැත.


මේ අවස්ථාවේ රට ඉල්ලා සිටින්නේ සම්පූර්ණ ක්‍රමවේදයේ වෙනසකි.එවැනි වෙනසක් ඇති කර ගැනීම යනු සංකීර්ණ ක්‍රියාවලියකි.පරිපූර්ණ වෙනසක් සඳහා වන යෝජනාවලියක් නිර්මාණය කර ගැනීම තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායම් කීපයකට පමණක් කල හැක්කක් නොවේ. පොහොසත් ලියවිල්ලක් සකසා ගැනීමට හැකි වන්නේ පුළුල් ජනතා සහභාගිත්වයක් ඒ සඳහා ඇති කර ගන්නේ නම් පමණි.වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය වන්නේද එයයි.


පලමු  කොටම පුළුල් ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටිය හැක.ලැබෙන සියළු යෝජනා සලකා බලා දළ ලියවිල්ලක් සාදා ගත යුතුය.සාදා ගත් එම ලියවිල්ල ජනතාව වෙත ඉදිරිපත් කොට පුළුල් සංවාදයක් ඇරඹිය යුතුය.ඉන් අනතුරුව සංවාදයේදි මතු වන අදහස් අනුව ලියවිල්ල සංශෝධනය කර ගත යුතුය.සංශෝධිත ලියවිල්ල නැවත ජනතාවට ඉදිරිපත් කොට නැවත සංශෝධන අවශ්‍ය නම් සිදු කොට අවසාන ලියවිල්ල සකසා ගත යුතුය.අවසාන ලියවිල්ල එනම් ජනතාව විසින් ඉල්ලා සිටින ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ප්‍රථම කොටම ජනතාව අතට පත් කල යුතුය.


ජනතාවගේ අදහස් අනුව සකසා ගන්නා එවන් යෝජනාවලියක් වඩා පොහොසත් අංගසම්පූර්ණ සහ ශක්තිමත් යෝජනාවලියක් වනවා පමණක් නොව වඩා වැඩි ජනතා සහයෝගයක්ද දිනා ගත හැකි වනු ඇත.එවන් යෝජනාවලියකට විරුද්ධ වීමට කිසිවෙකුට හැකි වන්නේ නැත.රජය සමඟ සාකච්ඡා කල යුත්තේ මෙම යෝජනාවලියේ ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ගැනීමටයි.රජයට මෙය ඉදිරිපත් කිරීමට සමගාමීව සියළු තානාපතිවරුන්ටද මෙම ගෝල් ෆේස් යෝජනාවලිය භාර දිය යුතුය.මේ මගින් ජාත්‍යන්තර අවධානය හා සහයෝගයද යෝජනාවලියට ලබා ගත හැකිය.එවිට අරගලය වඩා ශක්තිමත් වනු ඇත.


අරගලය ප්‍රතිසංස්කරණය  සඳහා නම් ප්‍රථම කාර්ය විය යුතුව තිබුනේ ඒ සඳහා වූ යෝජනාවලිය සකස් කර ගැනීමයි.නමුත් උද්දාමයෙන් අරගලයේ දින ගනිනවා හැරෙන්නට එවැනි ප්‍රවේශයක් ඇති බව පෙනෙන්නේ නැත.මාස එක හමාරකට වැඩි කාලයක් අරගලය ඇදී ගියද ප්‍රතිසංස්කරණය සඳහා වු දියුණු ලියවිල්ලක් අත ඇත්තේ නැත.


ගෝටා ගෝ හෝම් අරගලයේ තේමා ගීතයයි.අරගලයට ශක්තිය සපයන්නේද එයයි.නමුත් එය එසේ විය යුතුම නැත.නැතහොත් ගෝටා ගෝ හෝම් විය යුතුම නැත.පසුගිය ලිපියෙන්ද මා පෙන්වා දිමට  උත්සාහ දැරුවේද මෙයයි.ගෝඨා ගෙදර යැවීම අනිවාර්ය සාධකයක් වන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම් බලාපොරොත්තුවක් ඇත්නම් පමණි.නමුත් මෙය බලය ලබා ගැනීමේ අරගලයක් නොව ජනතාවගේ බලය පෙන්වා ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට දරණ උත්සාහයකි. 


අනිත් අතින් ගෝටා ගෙදර යැව්වා කියා ඇතිවන ගුණාත්මක වෙනස කුමක්ද?සිදු විය හැක්කේ සමහර විට පසු පසින් සිටින ඊටත් වඩා දුර්වල නායකත්වයකට මඟ පෑදීම විය හැකියි.


රජය දැන් සිටින්නේ බිත්තියට හේත්තු වී කර කියා ගත හැකි දෙයක් නොමැතිවය.මේ හොඳම අවස්ථාවයි.ගෝටා ගෝ හෝම් අත්‍යවශ්‍ය කාරණයක් නොවේ නම් ඒ සඳහා කාළය ශ්‍රමය වැය කිරීම නිරර්ථක දෙයකි.සමහර විට තමන්ට වාසිදායක එසේ නොමැති නම් ජය ගත හැකි අවස්ථා දෙවරක් නොපැමිණෙනු ඇත.එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය.එම අවස්ථාව මඟ හැරීම බොහෝ විට අනතුරු දායක විය හැක.මක් නිසාද එම අවස්ථාවෙන් අනතුරුව එළඹෙන කාළය අප කිසිවෙකුටත් පාළනය කර ගත නොහැකි මහා විනාශකාරී  කාලයක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවිනි. 


ඡායාරූපය අන්තර්ජාලයෙනි














 

No comments:

Post a Comment