Saturday 21 May 2022

අරගලයේ දිශානතිය හා වපසරිය

 

                                                    


මට දැනෙන ආකාරයට අරගලය දැන් ඇත්තේ ළිං ගැට්ට උඩ පොරකන බලලුන් දෙදෙනෙකුගේ තත්වයකයි.කුමන මොහොතක හෝ බලලුන් දෙදෙනාම ලිඳට වැටී විනාශ වීමේ අවධානම ඉතා ඉහලය.


අරගලය ඉදිරියට ඇදෙන්නේ ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් භාවයකට ඇද වැටෙමින්  තිබෙන අවස්ථාවකයි.එය ඉතාම ශෝචනීය තත්වයකි.ඒ නිසාම අරගලයේ සීමා මායිම් ගැන අරගල කරුවන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.අරගලය ආරම්භ වූයේ මිට වසර කිහිපයකට පෙර නම් එවැනි ගැටළුවක් මතු වීමට අවස්ථාවක් නැත.නමුත් දැන් රටේ ඇති වි ඇති සුවිශේසි තත්වයන්ට අනුව අරගලයේ හැඩ තල සකස් කර නොගන්නේ නම් එක් නිශ්චිත ස්ථානයකින් එහාට යාමට හැකි  වන්නේ නැත.කුමන හෝ දවසක සටන දිනන තෙක් කියමින් දිගින් දිගටම අරගලයේ යෙදිමට මේ මොහොතේ හැකියාවක් ඇත්තේ නැත.එසේ වුවහොත් සිදු වන්නේ ජනතාවගෙන් අරගලය ප්‍රතික්ෂේප වීම පමණක් නොව මෙම ආර්ථික ගැටළුවට හේතුවද අරගල කරුවන් යන චෝදනාවද එල්ල වීමයි.


අරගලයේ අරමුණු කෙතරම් යහපත් වුවද අරගලය විසින් ඇති කරනු ලබන තත්වයන්ද ආර්ථිකය කඩා වැටිමේ වේගය යම් ආකාරයකට හෝ ‍වේගවත් කරනු ලබන ශීඝ්‍ර කාරකයක් ලෙසද ක්‍රියා කරනු ලබන බව අවබෝධ කර ගත යුතුය.මේ නිසාම අරගලයේ උපාය උපක්‍රම සකස් විය යුත්තේ මෙම තත්වය අවබෝධ කොට ගෙන එය අවම වන ආකාරයටය.ඉතා ඉක්මනින් අරගලය අවසන් විය යුතුය. 


සීමිත ඕවර ක්‍රිකට් තරඟයක් ජයගැනීමට පිතිකරුවන් සියල්ල දවා ගැනීම එක්  ක්‍රමයක් පමණි.අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි ලෙස හොඳින් පන්දු යැවීම තුලින් පිතිකරුවන් නොදැවි සිටියදී වුවද තරඟය ජය ගැනීමට පුළුවන.අරගලය ජය ගැනීමට ගෝටා ගෝ හෝම් විය යුතුම නැත.ගෝටා සිටියදී වුවද අරගලයට ජය ගත හැකිය.මේ මොහොතේ අරගල කරුවන් හොඳින් පන්දු යවමින් සිටියි.රජය ඇත්තේ මොනම ආකාරයෙන්වත් ලකුණක් හෝ රැස් කර ගැනීමට නොහැකි තත්වයකයි.ඉල්ලීමි දිනා ගැනීමට මේ හොඳම අවස්ථාවයි.දැන් රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතුය.මස් රාත්තලම ඉල්ලා කාලය කා දැමිය නොහැකිය.මක් නිසාද ඉතා ශීඝ්‍රයෙන් රටේ තත්වය නරක අතට හැරෙමින් තිබෙන බැවිනි.


ඉල්ලිම් දිනා ගැනීමට අරගල කිරීම එකකි.රජය අපහසුතාවයට පත් කිරිමට අරගල කිරීම තවත් එකකි.සියළු ඉල්ලීම් එක පොදියට ලබා ගැනිමට හැකි වේ යැයි සිතීමද මුලාවේ වැටීමකි.මේ මොහොතේ ඇති වැදගත්ම කාරණා තෝරා බේරා ගෙන ඒ වෙනුවෙන් ඉල්ලීම් කළ යුතුය.නැතහොත් සිදු වන්නේ ලිං ගැට්ටෙන් ලිඳට වැටීමයි.     

No comments:

Post a Comment