Friday 31 January 2020

කොරෝනා වෛරසය හා මාධ්‍ය වෛරස්



කවුරුත් දන්නවා කොරෝනා වෛරසය  කියන මේ දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරන් ඉන්නේ  කියලා.........වයලගේ කාමරේ බ්ලොගයේ පසුගිය දිනෙක පලවූ  කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න කියන ලිපිය ආරම්භ කරලා තිබුනේ ඒ විදිහට.ඇත්තටම ඒ කියන විදිහට කොරෝනා ‍වෛරසය විසින් මේ වෙනකොට දහස් ගණනක් බිලි අරන් තියනවද?සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්දයෙන් හුවමාරු වෙන තොරතුරු කෙතරම් දුරට සත්‍යයද?මෙවැනි ව්‍යසනයක් හමුවේ පුරවැසියන් ලෙස අපගේ වගකිම විය යුත්තේ කුමක්ද?


ඉකොනොමැට්ටාගේ තොරතුරු වලට අනුව  මේ ලිපිය ලියන අවස්ථාව වන විට (ජනවාරි 31 උදෑසන) ආසාධිත රෝගින් සංඛ්‍යව 9692 වනවා.එයින් මිය ගොස් ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 213 ක්. ප්‍රතිශතයක් ලෙස ගතහොත් එය 2.2% ක් වෙනවා.2002/2003 වසරවල පැතිරගිය සාර්ස් වෛරසයෙන් 9.6% රෝගින් මිය ගොස් ඇති අතර 2013/2015 වසරවල පැතිරගිය මර්ස් කොරෝනා වෛරසයෙන් මියගිය ප්‍රතිශතය 37% ක් තරම් ඉහල අගයක් ගත්තා. මිය ගිය රෝගීන්ගේ ප්‍රතිශතය ගැන සැළකීමේදී පෙර අවස්ථා දෙකටම වඩා මෙවර අවදානම අඩු බව පෙනෙනවා.ඒ නිසාම ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදැක්විය යුතුයි යන්න මින් අදහස් වන්නේ නෑ.පෙර සූදානම හොඳ දෙයක් වූවත් අතිශෝක්තියෙන් ව්‍යාජ තොරතුරු පතුරවා හැරීමෙන් සිදු වන්නේ සමාජය අනවශ්‍ය ලෙස කලබල වීම.එයින් සමාජයේ එදිනෙදා කටයුතු අඩාල වෙනවා.ප්‍රථම රෝගියා අයි ඩී එච් රෝහලට ඇතුළු කල පසු ප්‍රතිකාර ගැනිමට රෝහලට පැමිණි රෝගින්ගේ සංඛ්‍යව බරපතල ලෙස අඩු විම හොඳම උදාහරණයක්.


ලිපියේ ඊලඟ කොටස වෙන් වන්නේ රෝගයෙන් බේරී සිටීම සඳහා කළ යුතු ප්‍රතිකර්ම විස්තර කිරීමටයි.එහි සඳහන් සියළුම ප්‍රතිකර්ම පාරම්පරික හෙළ වෙදකමේ හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යවේ සඳහන් ප්‍රතිකර්ම විය හැකියි.නමුත් මේ කිසිම ප්‍රතිකර්මයකින් කොරෝනා වෛරසයෙන් බේරී සිටිය හැකියි යන්නට කිසිම සාක්ෂියක් නෑ.ඒ ගැන කිසිම පර්යේෂණයක් කරලත් නෑ.එවැනි තත්වයක් තුල මෙවැනි මෙවැනි ව්‍යාජ ප්‍රතිකර්ම ප්‍රචාරය කිරීමෙන් සිදුවන්නේ හානියක් මිස හොඳක් නෙමේ.වයලගේ ප්‍රතිකර්ම කියවිමේ දි මට මතක් වෙන්නේ මා කුඩා කල කියවූ එස්. ඒ. දිසානායකයන්ගේ චිත්‍ර කතාවක්.කැලේ මැදින් යන නරියෙකුට බිම වැටී තිබූ බේත් සිට්ටුවක් හමුවෙනවා.කපටි නරියා මේ බේත් සීට්ටුව උපයෝගි කොට ගෙන බේත් සාප්පුවක් දානවා. හැබැයි හැම ලෙඩාටම දෙන්නේ අර බේත් සීට්ටුවේ තිබූ බේත්ම විතරයි.ඇයි නරියා වෙන දෙයක් දන්නේ නැති නිසා.ටික දිනක් යත් දි කැළේ සතුන්ට නරියා හොර දොස්තරයෙක් කියලා අහුවෙනවා. කැළේ සත්තු එකතු වෙලා නරියව කැළෙන් පන්නනවා.


විවිධ පටු අරමුණු වෙනුවෙන් මෙවැනි අවස්ථාවල ව්‍යාජ පුවත් මවන්නන්ගේ අඩුවක් නෑ.ලංකාව තුල වගේම ලෝකයේ අනෙක් රටවල තත්වයත් ඒකයි.කොරෝනා වෛරසය ගැන ප්‍රචලිත වෙත්ම මුලින්ම පලවූ ප්‍රවෘත්තියක් වූවේ නයි මස් කැම නිසා මෙය හටගත් බවයි.නමුත් එය එසේ වූවා යැයි කීමට කිසිම සාක්ෂියක් ඇත්තේ නෑ.චීනය හා ඒ ආසන්න රටවල සර්ප මස් කෑම අද ඊයේ ආරම්භ වූවක් නොවේ.ඉන් පසු සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසැරුවේ චින ජාතික කාන්තාවක් වවුල් සුප් බොන ආකාරයයි.මේ සමඟම චීන ජාතිකයින්ගේ ආහාර සම්ප්‍රදායන් විසින් මෙවැනි රෝග කාරක වෛරස් ඇතිවෙන බව සමාජයේ මතයක් ඇතිඋනා..නමුත් බී. බි. සිය ප්‍රකාශකර සිටියේ මෙම වවුල් සුප් බොන වීඩියෝ පටය මෙන්ග්යු වෑන් නැමති ජනප්‍රිය බ්ලොග් ලේඛිකාව විසින් 1916 දී රූප ගත කරන ලද එකක් බවත්, එය චීනයේ නොව පලාවූ දූපතේදී රූපගත කරන ලද්දක් බවත්ය.ඒ සමඟම බී.බි. සිය විසින් ලොව පුරා ප්‍රචලිත වූ ව්‍යජ පුවත් කිහිපයක් ගැනම සඳහන් කරනවා..කොරෝනා වෛරසය පිළිබඳව විද්‍යාඥයින් කලින් දැන සිටිම, ඊශ්‍රායල් ඔත්තු සේවා නිලධාරියෙකු උපුටා දක්වමින් වොෂින්ටන් ටයිම්ස්  පුවත්පත විසින් පළ කල කොරෝනා වෛරසය චීනය විසින් නිපදවන ලද ජීව විද්‍යාත්මක අවියක් යන පුවත හා ඩේලි ස්ටාර් පුවත් පත විසින් පළ කල කොරෝනා වෛරසය රසායනාගාරයක් තුල නිපදවූවා යන පුවත්ද වේ.මේ කිසිම පුවතක් සනාථ කිරිම සඳහා කිසිම සාක්ෂියක් ඇත්තේ නැති බව බී.බී.සි.ය වැඩි දුරටත් පවසා සිටිනවා.


මෙවැනි අවස්ථාවන් හි චීනයේ හැසිරීම එතරම් ප්‍රශස්ථ මට්ටමක නොතිබුනත් ඒ නිසාම හිතළූවන් ප්‍රචාරය කිරීමේ සදාචාරමය අයිතියක් අපට ඇත්තේ නෑ. හැම විජ්ජාවටම වඩා ගැලවිජ්ජාව හොඳ බව සත්‍යයක් උනත් ව්‍යාජ පුවත් මගින් සමාජය භීතියට පත් කිරිම මෙවැනි ව්‍යසනයන් හී දී සිදුවන සමාජ ආර්ථික ක්ෂේත්‍රයන් හි කඩා වැටීම වේගවත් කිරීමට හේතු විය හැකියි.

No comments:

Post a Comment