Sunday 27 October 2019

ගෝඨාභය.කුමක් විය හැකිද?



       ජනාධිපති කිරුළ සජිත් සහ ගෝඨාභයගෙන් පිට යන්නේ නැත.දෙදෙනාගේම ජනප්‍රිය භාවය පූර්ව නිගමන වලට එළඹිය නොහැකි තරමටම සමානය.ගෝඨාභය යනු දේශපාලකයෙකු නොවේ.දේශපාලන නොවන චරිතයක් මීට පෙර  දේශපාලන භූමියේදී මෙතරම් ජනප්‍රියතාවයක් අත් පත් කර ගන්නවා මගේ මතකයේ ඇත්තේ නැත.සරත් පොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම මෙයට සමාන වන්නේ නැත.එහිදී සිදු වූයේ එ.ජා.ප. ය වෙනුවෙන් පොන්සේකා ඉදිරිපත් වීම නිසා එ.ජා.ප. ඡන්ද ඔහුට ලැබීමයි.මෙහි දී සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. එනම් ගෝඨාභයගේ ජනප්‍රියත්වයෙන් පොහොට්ටුව පිපිමයි.


ගෝඨාභය මෙතරම් ජනප්‍රිය වන්නේ ඇයි?

       පලමු හේතුව යුධ ජයග්‍රණය සඳහා ඔහුගේ දායකත්වයයි.දෙවෙනි සහ වැදගත්ම හේතුව වන්නේ ඔහු දැඩි පුද්ගලයෙකු ලෙස සමාජය දැකිමත් එවැනි දැඩි පාලකයෙකු දැන් ලංකාවට අවශ්‍ය බව පුරවැසියා විශ්වාස කිරීමත්ය.තුන්වන කාරණය වන්නේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයයි. තෙවන හේතුව දෙවෙනි හේතුවේ දිගුවක් ලෙසද සැලකිය හැකිය. එනම් ඉස්ලාම් අන්තවාදය මැඬලීමට ගෝඨාභය වැනි දැඩි පාලකයෙක් අවශ්‍ය බව සිතීමයි.


ගෝඨාභයගේ දැඩි ගතියෙන් ලංකාවට ගොඩ යා හැකි ද?

       පාස්කු ප්‍රහාරය සිදු වීමට පෙර සිටම ලංකාවට තද පාලකයෙකු අවශ්‍ය බව මහජනයා අතර සිතිවිල්ලක් පිළිසිඳගෙන තිබුනි.එයට එක් හේතුවක් වන්නේ එදිනෙදා දෛනික කාර්යයන් කර ගැනීමට යාමේ දී ඔවුන්ට මුහුණ දීමට සිදුවන විවිධ දුෂ්කරතාවයන්ය.පොදු ප්‍රවාහනය තුලද ,රජයේ කාර්යාල තුලද,රෝහල තුලද මෙකී නොකී සෑම තැනකදීම අකාර්යක්ෂම තාවයන්ගෙන් සහ අශීලාචාර මිනිසුන් වෙතින් ඔවුන් පීඩා විඳිති.මේ සෑම විටකම ඔවුන්ගේ මුවින් පිට වන්නේ තද පාලකයාගේ අවශ්‍යතාවයයි.විවිධ වැඩ වර්ජන හමුවේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමේ දී ද ඔවුන් මෙම අවශ්‍යතාවය කියා පානු ලබයි.
       ලංකාවේ බහුතරයක් ඡන්දදායකයින් ස්ථානගතවී සිටින්නේ ප්‍රධාන පක්ෂ දෙක වන එජාපය හා ශ්‍රිලනිපය තුලයි.සාමාන්‍ය ව්‍යවහාරයේ දී කැපුවත් කොළ කැපුවත් නිල් ලෙස හඳුන්වනු ලබන ස්ථාවර සාමාජිකයින්ගේ සංඛ්‍යාව විශාල වන අතර ඒ ඒ අවස්ථාව අනුව මෙම පක්ෂ දෙක අතර දෝලනය වන එක්තරා ආකාරයකට මධ්‍යස්ථ මතධාරී කොටසකින් ද සමන්විතය.විශේෂම කාරණය වන්නේ මෙම ස්ථරය පක්ෂ දෙක අතර කෙතරම් දෝලනය වුව ද කිසිම අවස්ථාවක් මෙම පක්ෂ දෙක හැර වෙනත් විකල්පයක් කරා නොයාමයි.නමුත් මෙම මධ්‍යස්ථ මතධාරී ස්ථරයේ අවබෝධය වන්නේ දිනෙන් දිනම ලංකාව ඉතා වේගයෙන් පිරිහෙමින් පවතින බවත් ඒ සඳහා මෙම ප්‍රධාන පක්ෂ දෙකම වගකිව යුතු බවත්ය.මරණ ගෙදරදීද, දානේ ගෙදරකදී ද, මඟුල් ගෙදරකදී ද මෙම කොටසේ ප්‍රගතශීලි අදහස් වලට සවන් දිය හැකිය.ඔවුන් නිර්ලෝභීව ප්‍රධාන පක්ෂ දෙක වෙත සිය චෝදනා එල්ල කරනු දැකිය හැකිය.ලංකාවේ සැලකියයුතු කොටසක් අඩුම වශයෙන් ආසියානු කලාපයේවත් විදේශ සංචාරය කරනු ලබයි. එහිදී අනෙකුත් ආසියානු රටවල් අද අත්කරගෙන ඇති ප්‍රගතිය දැකිමත් අපගේ රටේ සැබෑ ස්වභාවය මැන ගැනීමට ඉවහල්වේ.දැඩි පාලනයක් මගින් මෙම තත්වය නිරාකරණය කර ගත හැකි බව සිතන බලසම්පන්නම කොටස වන්නේ මෙම මධ්‍යස්ථ මතධාරී ස්ථරයයි.
       ගෝඨාභයගේ දැඩි ගතිය විසින් ලංකාවට සෞභාග්‍ය උදාකරනු ඇත් ද?එසේත් නැත්නම් යුධ ජයග්‍රහණය ලැබූ පමණින් ගෝඨාභයට රටේ ගැටළු විසඳාලනු ඇතැයි සිතිම කෙතරම් දුරට තර්කානුකූලද?යුද්ධයක් ජය ගැනිම ඉතා අසීරු කර්තව්‍යයකි.එහි කිසිම විවාදයක් නැත.නමුත් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අප රට වැනි රටක් ගොඩ ගැනීම යුධ ජයග්‍රහණයක් ලබනවාට වඩා සිය දහස් ගුණයක් අමාරු කාර්යයකි.යුද්ධය දිනීම එක ඉලක්කයකට වෙඩි තැබීමක් යැයි සිතුවහොත් රටක් ගොඩ නැගීම ඉගිලෙන කුරුල්ලන් රැසකට එක විට වෙඩි තැබීමකට සම කල හැකිය.එනම් ක්ෂේත්‍ර ගණනාවක ජයග්‍රහණ එක විට ලඟාකර ගැනීමකි.
       ජනප්‍රිය බ්ලොග් රචකයෙකු වූ මාතලන් ගේ, ගෝඨාභය රටට අවශ්‍ය වන්නේ ඇයි? යන ලිපියෙහි එක් තැනක් සඳහන් වන්නේ ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, සුමල් පෙරේරා වැනි ප්‍රකට ව්‍යපාරිකයින් සාර්ථක ව්‍යපාරිකයින් බවට පත්ව ඇත්තේ ඔවුන් දැඩි පාළකයින් නිසා බවයි.එයින් මාතලන් අදහස් කරන්නේ ගෝඨාභයගේ දැඩි ගතිය විසින් ලංකාවද සාර්ථකත්වය කරා රැගෙන යන බවයි.ගෝඨාභයට රුචි සියල්ලන්ම දරන්නේ මෙම මතයයි.නමුත් මාගේ අදහස නම් මෙම නිගමනය එතරම් නිවැරදි නිගමනයක් නොවන බවයි.මෙම ව්‍යපාරිකයින් සාර්ථකත්වයට පත් වී ඇත්තේ සිය ව්‍යපාරික ඥානය නිසාවෙන් මිසක් දැඩි ගතිය නිසා නොවේ.පලමුව අවශ්‍ය වන්නේ සිය ඥානය මෙහෙයවා සැළසුම් සකස් කර ගැනීමයි.දැඩි ගතිය අවශ්‍ය වනවා නම් අවශ්‍ය වන්නේ මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදීයි.මෙයින් පැහැදිලි වන්නේ දැඩි ගතිය යනු පළමු අවශ්‍යතාව නොව දෙවන හෝ තුන්වන අවශ්‍යතාව බවයි. අනෙක් පසින් දරදඬු නොවන සාර්ථක ව්‍යපාරිකයින් ලොව ඇත්තේ නැති ද?මෙවැනි තර්කයකට අප ගියහොත් ඉහත නිගමනය දරන්නවුන් බොහෝ සෙයින් අතරමං වනවා නොඅනුමානය.මෙයින් පැහැදිලි කර ගත හැකි අනෙක් වැදගත්ම කාරණය නම් ඥානය නොමැතිව දැඩි ගතිය පමණක් තිබූ පමණින් කිසිවෙක් සාර්ථක නොවන බවයි.එසේ නොවන්නේ නම් දැඩි ගති ඇති සියල්ලන්ම සාර්ථක පුද්ගලයන් විය යුතුය.උතුරු කොරියාව ලෝකයේ ඇති අංක එකේ සංවර්ධිත රාජ්‍යයක් විය යුතුය.හිට්ලර්,ප්‍රභාකරන්, විජේවීර, යන මේ තිදෙනාම දැඩි පුද්ගලයන් යැයි සැලකිය හැකි අතර ඔවුන්ගේ දුර්වල මෝඩ සැළසුම් නිසාවෙන් සිදුවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් මානව ඛේදවාචකයන්ට මෙම රටවල ජනයා මුහුණ දිමයි.ඥානය නොමැති දැඩි ගතිය පමණක් තිබූ මිනිසුන්ගෙන් වන හානිය ගැන ලෝකය පුරාවට ඕනෑ තරම් උදාහරණ අපට සොයා ගත හැකිය.පාලකයින් දැඩි විය යුත්තේ සිය නිවැරදි ප්‍රතිපත්ති සහ සංවර්ධන සැලසුම් ක්‍රියාවට නැඟීමේදියි.නමුත් අප රටේ පාළකයින් දැඩි වන්නේ ඔවුන්ගේ මහා පරිමාණ වංචා දූෂණ එසේත් නැතිනම් ඔවුන් විසින් සිදු කරන ලද අපරාධ හෙළි වීමේ දී ඊට එරෙහිවයි.එසේත් නොමැති නම් තමන්ට අවාසි සහගත, තමන්ව විවේචනය කරන පුද්ගලයන් හෝ සංවිධාන නිහඬ කිරීමටයි. ලී ක්වාන් යූ ගේ දැඩි බව සහ අපේ පාළකයන්ගේ දැඩි බවේ මෙම ගුණාත්මක වෙනස අප රටේ පුරවැසියන්ට හඳුනා ගැනීමට නොහැකි වීම කණගාටුවට කාරණයකි.
       ආරක්ෂක ලේකම් තනතුරට පත් වීමට ප්‍රථම, ගෝඨාභය කිසිම අවස්ථාවක ලංකාව තුල කැපී පෙනෙන චරිතයක් හෝ විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වූ චරිතයක් නොවේ.මොනම හෝ ක්ෂේත්‍රයක විශේෂ හැකියාවක් හෝ බුද්ධිමත් භාවයක් පෙන්වා ඇත්තේ ද නැත.ගෝඨාභය කතා බහට ලක්වන චරිතයක් වන්නේ ඇරක්ෂක ලේකම් තනතුරට පත් වීමෙන් අනතුරුවයි.ඉන් අනතුරුව කොළඹ නගරය අලංකාර කිරීමේ කටයුතු වලදියි.ඒ හැරෙන්නට මතවාදී තලයේ එක්තරා මට්ටමකට හෝ බුද්ධිමත් භාවයක් පෙන්වා නැත.ශ්‍රී ලාංකික දේහය වර්තමානයේ පෙ‍ළෙන බරපතල ගැටළු ගැන අවම හෝ අවබෝධයක් ඇත්තේ නැත.ලංකාවේ ඇති ආර්ථික ගැටළු සහ ඒවාට ඇති විසඳුම ගැන විදග්ධ අදහස් දැක්වීමක් කර නැත.ලෝක ආර්ථික ප්‍රවනතා ගැන එසේත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදි හර පද්ධතින් ගැන කිසිවක්ම පවසා නැත.     
       රටේ නායකත්වයට කුමන පුද්ගලයෙක් පත් වුවද එම පුද්ගලයාට රටේ ඇති ගැටළු පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය.ලංකාවට දැනට මුහුණ දීමට සිදුව ඇති බරපතලම ගැටළුව වන්නේ අප සෑම අතින්ම බෙදුනු ජාතියක් වීමයි.බෙදීමෙන් සිදු වන්නේ අප කුඩා අංශු වලට වෙන්වී දුර්වල වීමයි.ශක්තිමත්ව ඉදිරියට යාමට නම් මේ බෙදුම් රේඛා මකා දැමිය හැකි සියලුම ජන කොටස් වල ගෞරවාදරයට පාත්‍ර වූ නායකයෙක් විය යුතුය.අනෙක් බරපතලම ගැටළුව වන්නේ බලයට පත් වූ සියළුම පක්ෂ විසින් කෙලෙසා දුර්වල ලියවිල්ලක් බවට පත්ව ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ශක්තිමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා මනා බුද්ධිමත් භාවයක් මොහු සතු විය යුතුය. තුන් වන කාරණය වන්නේ, ජනතා නියෝජිතයින් ද, වෘත්තිකයින් ද, පූජ්‍ය පක්ෂය ද. සාමාන්‍ය මිනිසුන් ද. කිසිම භේදයකින් තොරව වසංගතයක් සේ ගොදුරු කරගෙන ඇති වංචාව හා දූෂණයෙන් සමාජය බේරා ගැනීමට හැකි විමයි..මීට අමතරව මොහු නීතියට ගරු කරන නීති ගරුක පුද්ගලයෙක් විය යුතුය.සැම අතින්ම කිලිටි නොවූ පිරිසිදු පුද්ගලයෙක් විය යුතුය.ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා ඉහලින් ගරු කරන මනා හික්මීමක් ඇති  ශීලාචාර මිනිසෙකු විය යුතුය.නිතර යාවත්කාළීන වන බුද්ධිමත් භාවයකින් හෙබි,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දියණු මානවයෙක් විය යුතුය.ලංකාව වෙළාගෙන ඇති පසුගාමී චින්තන රටාවෙන් අප මුදවා ශ්‍රී ලාංකිකයා දියුණු මානවයෙක් බවට පත් කළ හැක්කේ එවැනි බුද්ධිමත් නායකත්වයකට පමණි.

1 comment: