Monday 14 October 2019

ජනාධිපතිවරණය හා එහි ගැටළු



        
        සිය පාක්ෂිකයින් කෝප ගන්වන තරම් කාලයක් කෙකර ගගා සිටි එජාප කිකිළිය අවසානයේ සිය බිත්තරය දැම්මාය.දැන් තරඟය පැහැදිලිය.කොතරම් අපේක්ෂකයන් ඉදිරිපත් වූවද තරඟය පැවැත්වෙනු ඇත්තේ ගෝඨාභය සහ සජිත් අතරයි.අනාවැකි කීමට නොහැකි තරමට ජනාධිපතිවරණය තියුනු වනු ඇත.තරඟයෙන් ගෝඨාභය ජයගතහොත් කුමක් සිදු වනු ඇත් ද?සජිත් ජයගතහොත් කුමක් වනු ඇත් ද?


19 සැඟවීම

 

       19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව 2020 ජනාධිපති ධූරය නාමමාත්‍රිකය.ඒ අනුව බලන විට කවුරු ජයගත්තද ඉන් කිසිම වෙනසක් සිදු වීමට ඉඩක් ඇත්තේ නැත.නමුත් කිසිම දේශපාලන පක්ෂයක් මෙම තත්වය සැළකිල්ලට ගත් බවක් පෙනෙන්නට නැත.ව්‍යවස්ථා විශාරදයින් අතර පවා ඇත්තේ නිහැඬියාවකි. සැබවින්ම දේශපාලන පක්ෂ මේ තත්වය ගැන දැනුවත් වි නැත් ද?එසේ නොමැති නම් දැනුවත්වම සිය ඡන්ද දායකයා රවටමින් සිටිනවාද?නාමමාත්‍රික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට මැතිවරණ පවත්වන සම්ප්‍රදායක් ලොව ඇත්තේ නැත.රජයට මැතිවරණය තැබීමට යන වියදම සහ අපේක්ෂකයන් මැතිවරණය සඳහා වියදම් කරන මුදල එකතු කළ විට එය රුපියල් බිලියන ගණනක් විය හැක.මෙම මුදල් නාස්තිය අපරාධයකි.ඊට අමතරව ගැටුම් ඇති වීම, ජීවිත හානි සිදුවීම.අනවශ්‍ය කලබලකාරී වටපිටාවක් නිර්මාණය වී සමාජය නොසන්සුන් වීමද සිදුවේ.මේ සියල්ල අවසානයේ ලැබෙන්නේ කිසිවක් කළ නොහැකි ජනාධිපතිවරයෙක් නම් සමාජය ලොකු මිලක් ගෙවා ලබාගෙන ඇත්තේ කිසිම වටිනාකමක් නැති භාණ්ඩයකි.

පුරවැසියා රැවටීමේ අවදානම

 

       පසුගිය දිනෙක ජනාධිපතිවරණය ගැන මා මිතුරෙකු වූ කපිල සමඟ සුහද සාකච්ඡාවක නිරත විමි.2020 ජනාධිපති නාමමාත්‍රිකය යන්න කපිලට ඒත්තු ගැන්විම අසීරු කරුණක් විය.කපිල අසන්නේ, “ එහෙනම් මොකටද මේ යක්කු මෙච්චර දඟලන්නේ “ කපිලගේ තර්කය නිවැරදිය.ඵල රහිත දෙයකට අප මෙතරම් දඟලන්නේ නැත.මෙය රටේ සිටින සියළුම පුරවැසියන්ගේ තත්වයයි. අප අවුරුදු හතලිහකට ආසන්න කාලයක් පුරුදු වි ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයටයි. 19 සංශෝධනය තුලින් එහි බලතල යම් කිසි ප්‍රමාණයකට සීමා කළ ද එය ජනතාවට දැනුනේ නැත.ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු කලේ ද නැත. පසු ගිය කාළයේ ජනාධිපති සිරිසේනගේ ක්‍රියා කලාපය හේතුවෙන් එවැනි බලතල අඩු විමක් ගැන ජනතාවට දැනුනේ ද නැත.ජනතාව දැන් බලා සිටින්නේ තමන්ගේ වීරයා ජනාධිපති පුටුවේ සිංහාසනාරූඩ වී තමන්ගේ සහ රටේ ගැටළු විසඳන තෙක්ය.බරපතලම ගැටළුව මතුවන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව තමන් පත් කර ගත් ජනාධිපතිට කිසිවක්ම කල නොහැකි බව දැනගත් විටයි.මෙය ඔවුන් කිසි විටෙකත් අපේක්ෂා නොකළ තත්වයකි.නමුත් සත්‍ය තත්වය අවබෝධ වූ විට ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් වි කළකිරීමට පත්වෙයි.පුරවැසියන් මේ අකාරයට රැවටීමට ලක් වී අපේක්ෂා භංගත්වයට පත්වීම බරපතල ප්‍රතිවිපාකයන්ට තුඩු දිය හැකි බව පමණක් ලියා  තැබිය යුතුය.

බල අරගලය

 

       කුමන අපේක්ෂකයා ජය ගත්තද ජයග්‍රහණය සනිටුහන් වන්නේ තියුනු තරඟයකින් අනතුරුවයි. ඊට අමතරව මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විශාල වෙහෙසක් දැරිය යුතුවා මෙන්ම අති විශාල මුදලක් ද වැය වෙයි.මෙවැනි තත්වයක් තුල ජනාධිපති ධූරයට පත්වන කුමන හෝ පුද්ගලයෙක් නාමමාත්‍රිකව සිටිනු ඇත් ද?ජයග්‍රාහකයා සිටින්නේ මුළු රටේම  ඡන්දයෙන් තමා පත් වූවා යැයි යන උද්දාමයෙනි“.ඔබ පත් විඇත්තේ දිස්ත්‍රික්කයේ ඡන්ද වලින් පමණයි“.ඔහු අගමැතිට පවසනු ඇත. නාමමාත්‍රික ජනාධිපතිවරයා තමන්ට ව්‍යවස්ථාවෙන් හිමි නොවූ බලයක් ආරෝපණය කරගෙන රට පාලනය කිරීමට උත්සාහ කළහොත් එය බරපතල ලෙස ව්‍යවස්ථා උල්ලංඝනය වීමක් දක්වා තල්ලු වී රට අස්ථාවර කාළකණ්නි රටක් බවට පත් වීමේ ඉඩ කඩ බොහෝ වැඩිය.මෙවැනි අවස්ථාවකට අවශ්‍ය කරන නීති විශාරදයින් අප රටේ ඕනෑ තරම් ඇත.ජයග්‍රාහී ඡන්දදායකයා තුල පවතින විධායක බලතල සහිත රූපකය නිසා මෙයට ලැබෙන බලවත් සහයෝගය හේතුවෙන් තත්වය තවත් බරපතල වනු ඇත.
       මහින්ද සහ රනිල්  යන දෙදෙනාම මේ අවස්ථාවේ මුහුණ දී ඇත්තේ එකම ගැටළුවටයි.එනම් තමන්ගෙන් බලය ගිලිහිමේ අවදානමටයි.මහින්ද,ගෝඨාභයට අපේක්ෂක කම ලබා දුන්නේ ද,රනිල් සජිත් ට අපේක්ෂක කම ලබා දුන්නේ ද පක්ෂය තුල ඇති වූ දැඩි තෙරපුම නිසා මිස කැමැත්තෙන් නොවේ.දැන් එම බල අරගලය අවසන් වී ඇත් ද? මාගේ මතය නම් සැබෑ බල අරගලය මතු වනු ඇත්තේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව බවයි.මීට පෙර විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇති වූයේ පක්ෂ දෙකකට මෙය බෙදී ගිය විටයි. එනම් රනිල් චන්ද්‍රිකා සහ මෛත්‍රී රනිල් ලෙසයි.ගෝඨාභය ජය ගතහොත් නැවතත් එම තත්වය උදාවිය හැකිය.ඊට අමතරව  මෙම ජනාධිපතිවරණයෙන් අනතුරුව එය පක්ෂ තුලම සිදුවන ගැටුමක් බවට ද විතැන් විය හැකිය.සජිත් සහ ගෝඨාභය යන දෙදෙනාගෙන් කවුරු ජයග්‍රහණය කළ ද ඉන් පසු සිදුවනු ඇත්තේ විධායක බලතල තමන් වෙත ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට යොමු විමයි.ගෝඨාභය විධායක ජනාධිපති වනවාට මහින්ද අකමැති වනවා මෙන්ම සජිත් විධායක ජනධිපති වනවාට රනිල් කැමති වන්නේ නැත.මේ නිසා කවුරුන් ජයගත්ත ද ජයග්‍රාහී පක්ෂය තුල තියුණු බල අරගලයක් ඇති විම වැලැක්විය නොහැක.

පුරවැසියාගේ වගකීම

 

       ඕනෑම මැතිවරණයක දී වැදගත්වන වන පළමු කාරණය වන්නේ අපේක්ෂකයා විසින් කෙතරම් දුරට ගැටළු හඳුනා ගන්නේ ද යන්නයි.දෙවෙනි කාරණය වන්නේ හඳුනාගත් ගැටළු සඳහා ඔහු ලබා දෙන පිළිතුරු කෙතරම් දුරට ශක්තිමත් ද සහ ප්‍රායෝගික ද යන්නයි.මට හැඟෙන ආකාරයට අපට ඇති බරපතලම ගැටළුව වන්නේ අප බෙදුනු ජාතියක් වීමයි.වර්ග අනුවද ආගම් අනුවද කුල අනුවද අප කුඩා කොටස් වලට වෙන් ව ගොස් ඇත.එවැනි ජාතියක් කිසි දිනෙක ශක්තිමත් ජාතියක් වන්නේ නැත.දෙවන ගැටළුව වන්නේ සමූහ දූෂණයට ලක්වීමෙන්  බරපතල ලෙස අබල දුබල තත්වයට පත් වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය ගැනීමයි.තුන්වැන්න පිළිකාවක් සේ ඔඩු දුවා ඇති දූෂණ හා වංචා පිටු දැකීමයි.ඡන්දදායකයාගේ වගකීම වන්නේ මෙම ගැටළු අපේක්ෂකයන් විසින් නිවැරදි ලෙස හඳුනාගෙන ඇත්ද සහ ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කර ඇති විසඳුම් කෙතරම් නිවැරදිද හා ශක්තිමත් ද යන්න ගැන විමසිලිමත් වීමයි.තවත් බොහෝ ගැටළු ඇතත් ප්‍රධානම සහ බරපතලම ගැටළු ත්‍රිත්වය වන මෙම ගැටළු හඳුනා නොගත් සහ මෙම ගැටළු සඳහා නිවැරදි ශක්තිමත් පිළිතුරු නොමැති අපේක්ෂකයෙකුට රට වෙනුවෙන් අවම යහපතක් හෝ කළ නොහැකිය.

අවසානය කුමක් විය හැකි ද?

 

       2020 ජනාධිපති ධූරය නාමමාත්‍රික නොවන බවට දැනටමත් මත පළවෙමින් ඇත.එයින් හැගෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බරපතල ගැටුම් ඇති වන බවයි. විධායකය හා  ව්‍යවස්ථාදායකය අතර ගැටුම් ඇති වීම රටට මොනම ආකාරයෙන්වත් යහපත් වන්නේ නැත.සිදුවිය හැක්කේ රට තවතවත් කාළකණ්නි වීම පමණි.අපගේ පාර්ලිමේන්තුව යනු අසූචි වලකි. එයට බසින්නා කෙතරම් පිරිසිදු අයෙක් වූවද ගොඩට පැමිණෙන්නේ සියොලඟ අසූචි තවරාගෙන දුගඳ හමමිනි.අසුචි වලක රන් පියුම් පිපෙන්නේ නැත.මුදුන්මුල කුණුවූ විට ගස ද මියයන්නා සේ පාර්ළිමේන්තුවේ කුණුවීම නිසා රටේ සියළු ආයතනද ඇත්තේ කුණු වී ඕජස් ගලන තත්වයකයි.මෙවැනි තත්වයක් පක්ෂ මාරු කිරීමෙන් හෝ පුද්ගලයන් වෙනස් කිරීමෙන් ජයගත නොහැක.කල හැකි එකම දෙය නම් මුළු ක්‍රමයම එක විට උඩු යටිකුරුකර පෙරළා දැමීමයි.වෙන කිසිම විසඳුමක් ඇත්තේ නැත.එය කලහැකි වන්නේ ජනතාව තුලින්ම බිහිවන නිවැරදි දැක්මක් ඇති සමාජ ව්‍යපාරයකට පමණි.

                           

No comments:

Post a Comment