Sunday 27 October 2019

පිරිපුන් තාරුණ්‍යයක් වෙත


  
        මැතිව් සිය බිරිඳ ඇන්ජලිනා සහ දරුවන් හතර දෙනා ද සමඟින් පසුගිය අප්‍රේල්  මාසයේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා සැලසුම් සකස් කළ ද මැතිව් ගේ බිරිඳ වූ ඇන්ජලිනාට සිය රැකියාවේ කාර්ය බහුලත්වය නිසා සංචාරයට සහභාගී වීමට නොහැකි විය.ඒ නිසාම පවුලේ බාලයා වූ ඊතන් ට ද සංචාරය අහිමි විය.පවුලේ වැඩිමලා වූ ඩේවිඩ් තම උසස් අධ්‍යපන කටයුතු හේතුවෙන් සංචාරයට සහභාගී වීමෙන් වැලකී සිටියාය.අවසානයේ මැතිව් සමග දහනම හැවිරිදි පුතු වූ ඩැනියෙල් ද පහලොස් හැවිරිදි වියේ පසු වූ අමිලී ද ශ්‍රී ලංකා වේ සංචාරය කිරීමට තීරණය කෙරිනි.නමුත් අවසානයේ තැවතත් ආපසු එංගලන්තය බලා යාමට හැකි වූයේ  මැතිව් ට පමණි.ඩැනියෙල් සහ අමිලී සිය කෙටි ජීවිතය  අප්‍රේල් 21 වෙනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අවසන් කළාය.තිසර අරවින්ද රතුවිතාන බී .බී. සී. ය වෙත මේ සම්බන්දයෙන් අගනා ලිපියක් රචනා කොට තිබිනි.


       මේ සංවේදී සිදුවීම ගැන කඳුලු කඩා හැලෙන කතාවක් ලිවිය හැකිය.අපට හුරු පුරුදු ක්‍රමය එයයි.නමුත් මෙතැන් සිට කියවෙන්නේ වෙනස්ම කතාවකි. එය අපට නුහුරු දෙයකි.මැතිව් පවුලට, තොරතුරු දැනදැනම ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකිවීම ගැන ශ්‍රී ලංකා රජයට දෙස් දෙවොල් තබමින් කාලය ගත කිරීමට හොඳටම ඉඩ තිබුනි.එසේත් නැතිනම් අයි. එස් .අයි .එස් .සංවිධානයට විරුද්ධව  සටන් පාඨ කියමින් එරට කැපී පෙනෙන පවුලක් වීමට හොඳටම ඉඩ තිබුනි.නමුත් සිදු වූයේ ඒ කිසිවක් නොවේ.
       ඩේවිඩ්ට තම වේදනාව අර්ථවත් දෙයකට පෙරළන්නට සිතෙන්නට ඇත.තමන් මෙන්ම තවත් විශාල පිරිසක් ‍මේ වේදනාවම අත් විඳින බව ඩේවිඩ්ට පසක් වන්නට ඇත.මෙම සිදුවීමේ දී ඇති වූ  බොහෝ අඩු පාඩු සිය පියාගෙන් ඩේවිඩ්ට දැනගන්නට  ලැබුනා නිසැකය.අවසානයේ කළ යුත්තේ කුමක්දැයි ඩේවිඩ්ට අවබෝධ විය.The Amelie and Daniel Linsey Foundation පුණ්‍යායතනය බිහිවන්නේ මේ අනුවයි. මෙය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම බිහි වූ පුණ්‍යායතණයක් බව ඩේවිඩ් කියා සිටින බව තිසර අරවින්ද ගේ ලිපියේ සඳහන්ය. පලමු ඉලක්කය වන්නේ බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂ පහක අරමුදලක් ගොඩනගා ගැනීමයි. වින්දිතයන් උදෙසා මානසික හා වෛද්‍ය උපදේශන සේවා ස්ථාපනය කිරීම, රෝහල් තුළ වෛද්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, වින්දිතයන් වෙනුවෙන් නිවාස තනා දීම, හදිසි ප්‍රහාරයක දී ප්‍රතිචාර දැක්වීම සඳහා පවතින සහන සේවා වැඩි දියුණු කිරීම ඩේවිඩ් ගේ අරමුණුවලින් කිහිපයකි.

       21 හැවිරිදි මේ යෞවනයාගේ ජීවිතය කෙතරම් අර්ථවත්ද ?ඔහු එසේ වත්දී අප කුමක් කරමින් සිටිමුද? අප්‍රේල්  21 සිට අප තවමත් කරමින් සිටින්නේ වෛරය වැපිරීම හැර අන් කිසිවක් නොවේ.විවිධ අභූත චෝදනා නඟමින් මුස්ලිම් ජාතිකයන්ව අපහසුතාවයන්ට පත් කිරීම මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම වැනි පහත් ක්‍රියාකාරකම් වලට එහා ගිය අර්ථවත් වැඩපිළිවෙලක් දක්නට ඇත්තේ නැත.අනෙකාට එදිරිවාදිකම් කිරීමෙන් සිදුවන්නේ ජාතිය කැබලි වලට කැඩීයාමයි.කැබලි වලට වෙන් වූ ජාතියක් කිසි දිනෙක ශක්තිමත් ජාතියක් වන්නේ නැත.මෙය තේරුම් ගැනීමට මහා බුද්ධියක් අවශ්‍ය වන්නේ නැත.

       මෙවැනි පරිණත බවක් ලාංකික යෞවනත්වය තුල දක්නට නොලැබෙන්නේ ඇයි?බොහෝ හේතු ඇතිවාට සැක නැත. තිස් අවුරුදු යුධ කාල සීමාවේදී සමාජය සතු සිතීමේ සීමාව පටු වපසරියකට සීමා විය.මේ කාලයේ දී සිදු වූ විශේෂම දෙය නම් ජාතිවාදීන්ගේ හඬ ප්‍රභල වීමයි.සමාජයටත් නොදැනීම සමාජය ජාතිවාදී හැඟීම් වලින් පිරී ගියේය.යෞවනයෙක් ලෙස සැලකිය නොහැකි තිස් හැවිරිදි මිනිසාටද කුඩා කල සිටම ඇසී ඇත්තේ මෙම ජාතිවාදී කතාබස්ය. එසේ නම් යෞවනයන් ගැන කුමන කතාද?මිනිසා තුල ජාතිවාදි හැඟීම් උද්දීපනය කිරීම ඉතා පහසුය.යෞවනයන් ගේ මනස පෝෂණය වී ඇත්තේ මෙම ජාතිවාදී මති මතාන්තර වලිනි.

       මීට දශක කිහිපයකට පෙර විදේශීය අධ්‍යපනය ලබා ගැනීමේ වරම හිමි වූයේ ඉතා කලාතුරකින්  කෙනෙකුටය. නමුත් ඒ සුළු පිරිස හිස් අතින් නැවත ආවේ නැත.ඔවුන් ගෙන ආ දැනුමෙන් ලාංකික භූමිය පෝෂණය විය.අද එසේ දැනුම සොයා විදේශ ගත වීමේ උවමනාවක් ඇත්තේ නැත.නූතන තාක්ෂණය ලබා ඇති දියුණුව හේතුවෙන් විශ්ව දැනුම අත්ල මතට පැමිණ ඇත.නමුත් බටහිර ශිෂ්ඨාචාරයන් විසින් අත් පත් කරගත් දැනුම පිළිගැනීමට අද සමාජය සූදානම් නැත. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ බටහිර දැනුම උපහාසාත්මකව ප්‍රතික්ෂේප කිරීමත් අප විසින් අත් පත් කර ගත් සීමිත දැනුම අහංකාරෝන්මාදයෙන් අධිතක්සේරු  ගත  කිරීමත්ය. මෙය දීර්ඝ කාලීන යුධ පරිසරයක් තුල ජාති වාදී වර්ගවාදී කොටස් විසින් ලාංකික ජන සමාජය තුල වර්ධනය කළ තත්වයක් ලෙස සැලකිය හැකිය. මෙම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතිවන අවාසිය නම් යමක් විද්‍යනුකූලව විවරණය කර ගැනිම හා විචාරශීලීව  බැලීමේ හැකියාව සමාජයට අහිමි  වීමයි.මේ නිසාම ලාංකික ජන සමාජයෙන් දිස්වන්නේ දියුණු ශිෂ්ඨාචාරමය ගති ලක්ෂණ වලට වඩා නොදියුණු ගෝත්‍රික ලක්ෂණයි.පසුගිය කාළයේ මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව එල්ල කරන ලද අසත්‍ය වෛරී සහගත කතා වලට සිංහල සමාජය තුල පදනමක් ඇතිවන්නේ මෙම නොදියුණු ස්වභාවය නිසයි.තවද මෑත කාළයේ දැඩි ලෙස සමාජය මිත්‍ය විශ්වාසයන්ගේ එල්බ ගැනීමද මෙම තත්වය නිසාම ඇති වූවක් ලෙස සිතිය හැකිය.
    
       පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමකට මුහුණ දුන් පුද්ගලයෙකු තුල වෛරි  හැඟීම් ඇති වීම අසාමාන්‍ය තත්වයක් නොවේ.එය සිදුවිය හැකි සාමාන්‍ය දෙයකි.එය මිනිස් ස්වභාවයයි.නමුත්  වෛරයෙන් කෝපයෙන් කටයුතු නොකොට දැඩි හික්මීමකින් කටයුතු කිරීම නම් කුඩා කළ සිට පුරුදු පුහුණු කළ යුතු දෙයකි.ලංකාවේ දි සිදු නොවන්නේ ද එයයි.අනෙකුත් ජාතීන්ට හා වෙනස් සංස්කෘතීන්ට ගරු කිරීම වෙනස් කොට නොසැලකීම පාසැල තුලදිම හුරු පුරුදු කළ යුතු  දෙයකි. එවැනි පරිසරයක් අප පාසල්  පද්ධතිය තුල ඇත්තේ නැත. ඇති කිරීම පිලිබඳව හෝ  සාකච්ඡාවක් ලංකාව තුල ඇත්තේ නැත. ඒ වෙනුවට අසන්නට ලැබෙන්නේ දරුවන්ගේ සිත් තව තවත් වෛරයෙන් පුරවන්නා වූ ගුරුවරුන්ගේ  නොදියුණු ක්‍රියාකාරකම්ය.

       පන්ති කාමරය තුල ගුරුවරයෙක් සිටියද නොසිටියද කෑ ගැසීම කුඩා දරුවන් ගේ සිරිතයි.අප කුඩා කළ එසේ ඝෝෂා කල විට බැන වදින කෘෂිකර්ම පෙරේරා සර් ගේ ඉලක්කය වන්නේ පන්තියේ සිටි එකම මුස්ලිම් සිසුවා වූ අක්‍රම් ය. පෙරේරා සර් අක්‍රම් ට බැන වදින්නේ ඔහුගේ ජාතිය මතක් කරමිනි.එනම් කෑ ගැසිම තම්බින්ගේ සිරිත ලෙස කියමිනි.සියළු ගුරුවරුන් එසේ නොවෙතත් අද තත්වය එදාට වඩා නරක අතට හැරී ඇති බව මාගේ විශ්වාසයයි.

       මාගේ පියා වතු පාලකවරයෙකි.වත්තේ දෙමළ පවුල් කීපයක් සිටි අතර ,එම නිවෙස් වලට ගොස් එම දරුවන් සමඟ සෙල්ලම්  කිරීම අපගේ සිරිතයි.විටෙක එම නිවෙස් වලින් අහාර  ගැනීම පවා සිදු කරයි.මාගේ දෙමව්පියන්  කිසි විටෙකත් එවැනි දේට තහංචි දැම්මේ නැත. මවගේ වැඩිමහල්  සහෝදරයාද අධ්‍යපනය ලබා ඇත්තේ යාපනයේ පාසැලකයි. ඒ කිරිඅත්තාගේ තිබූ දෙමළ හිතවත්කම්  නිසයි.මව නිතරම එම දෙමළ ඇසුරේ තිබූ විවිධ කතා අපට කියාදෙයි. මව් පිය දෙපාර්ශවයෙන්ම ඇතිවූ මෙම තත්වය නිසා අප පවුලේ ජාතිවාදින් නොවූහ. තිස් අවුරුදු යුද්ධයේ දී පමණක් නොව මෑත කාලයේ ඇති වූ මුස්ලිම් විරෝධී තත්වයන් තුලද එය එසේම විය.මුස්ලිම්  දෙමළ හා සිංහල ජාතිකයින්  එකට වාසය කරන ගම්මාන තුල සිටින පිරිස් තුලද ජාති වාදී හැඟීම ඇත්තේ අවම  මට්ටමක බව මාගේ හැඟීමයි.ජාතිවාදී හැඟීම් තද බල ලෙස ඇත්තේ වෙන් වී දුරස්ව සිටින කොටස් තුල බව මින් පෙනෙන දෙයයි.ඒ නිසා කල යුතු වන්නේ මෙම දුරස් බව අවම කිරීම සඳහා කටයුතු කිරීමයි.

       මට දැනෙන ආකාරයට මේ සඳහා සුදුසුම ස්ථානය පාසැලයි.සිංහල බෞද්ධ පාසැල් , කතෝලික පාසැල් , හින්දු පාසැල්  සහ මුස්ලිම් පාසැල්  යන මේ බෙදුම්වාදී සියළු පාසල් අහෝසි කළ යුතුය.අනතුරුව එක් ජාතික පාසල් පද්ධතියක් ආරම්භ කළ යුතුය.එම පාසල ද්වී භාෂාවෙන් නොව ත්‍රෛභාෂාවෙන් අකුරු කල යුතුය. ආගම ඉගැන්වීමෙන් මිදිය යුතුය.වාර්ගික හැඟීම් වලින් ඔලුව පුරවා ගත් වැඩිහිටියන් වෙනස් කිරීම අසීරු කාරණයකි.නමුත් යහපත් නව පරම්පරාවක් බිහිකර ගැනීම අසීරු කරුණක් වන්නේ නැත.අවශ්‍ය වන්නේ නිවැරදි වැඩ පිළිවෙළක් පමණි. බහුත්වවාදී අනාගාමික දැක්මකින්  ද විචාර බුද්ධියෙන් ද යුතු දියුණු මානවයෙකු බිහි කර ගැනිමට අපට හැකි වනු ඇත්තේ එවිටයි. එසේ නොවුවහොත් අපට සිදුවන්නේ ලෝකය තුල තව තවත් හුදකලා වන්නටයි.

No comments:

Post a Comment