Sunday 3 November 2019

මැතිවරණ වේදිකාවේ වෙන්දේසි කෙරෙන මිනිස් ජීවිත



      
          මාගේ පියා වතු පාළකවරයෙකි. වත්තේ  සිටින සෑම කෙනෙකුගේම ලිපි ලැබෙන්නේ අප වෙතයි. උදෑසන හෝ දහවල් පෙරෙට්ටුවට ආ විට ලැබී ඇති ලියුම් අයිති කරුවන් වෙත ලබා දීම දින පතා සිදු කරයි.දිනක් දියෝනිස් කම්කානම්ගේ එක් පුතෙකු වූ සුසන්තට ලැබී තිබූ ලිපියක් මගේ පියා විසින් දියෝනිස් කම්කානම් වෙත ලබා දී ඇත.ලිපිය රැගෙන ටික දුරක් ආපසු ගිය දියොනිස් කම්කානම්ට අවට සිටියවුන්ට සඟවාලිය නොහැකි ලෙස හැඬුම් පහල වී ඇත.සුසන්ත ඒ වනවිටත් 71 කැරැල්ල විසින් බිලිගෙන තිබුනි.දියෝනිස් කම්කානම එය සියල්ලන්ගෙන් සඟවාගෙන සිටියත් සුසන්ත වෙත ලැබී තිබූ ලිපිය විසින් ඔහුගේ ආත්ම ශක්තිය සිඳ බිඳ දැමීය.මෙය මා වෙත පවසා සිටියේ මාගේ වැඩිමල් සොයුරියයි.


           2020 ජනාධිපතිවරණ වේදිකාව  දිනෙන් දින උණුසුම් වේ.චෝදනා, මඩ,අවලාද, අතර නැවතත් නින්දා සහගත ලෙස  මිනිස් ජීවිත වෙන්දේසි වීමට පටන්ගෙන ඇත. ගෝඨාභය විරුද්ධවාදීන් රාජපක්ෂ සමයේ සිදු වූ මිනිස් ඝාතන ගැන කෑමොර දෙන අතර එ.ජා.ප. විරුද්ධවාදීන්  එ. ජා. ප. සමයේ , විශේෂයෙන්ම  හිටපු ජනාධිපති ප්‍රේමදාස යුගයේ සිදු වූ මිනිස් ඝාතන ගැන කෑමොර දීමට පටන් ගෙන ඇත.නමුත් මේ කිසිවෙකු මෙම මිනිස් ජීවිත වෙනුවෙන් කිසිම විටෙක සාධාරණය ඉටුකර ඇත්තේ නැත. කරන්නේ ද නැත. මොවුන් සියළු දෙනාම කරනු ලබන්නේ සිය ජයග්‍රහණය වෙනුවෙන් මියගිය මිනිසුන් වෙන්දේසියේ දැමීමයි. මෙය මිනිස් ඝාතනයකටත් වඩා පහත් නින්දිත ක්‍රියාවක් බව මගේ හැඟීමයි.


       යම් කිසි ඝාතනයක් සම්බන්දයෙන් යම් පාර්ශවයකට චෝදනාවක් එල්ල වූ විට එම පාර්ශවය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඝාතනය සාධාරණීය කිරීම සඳහා යම් යම් කරුණු ඉදිරිපත් කිරීමයි. එක්නැළිගොඩට එල්. ටි.ටි.ය සමඟ සම්බන්දකම් තිබුණා යැයි කීම එවැන්නකි. ඒ හේතුව නිසා මොහුව ඝාතනය කිරීම සාධාරණ යැයි සමාජ ගත කරයි. ප්‍රධාන පක්ෂ දෙකටම විශාල පිරිස් බලයක් ඇති බැවින් මෙම චෝදනා විශාල ලෙස පිළිගැනීමට ලක් වී ඝාතකයාට විශාල ආවරණයක් සැපයේ. මෙලෙස බැලූ විට මෙම ඝාතකයන් ආරක්ෂා කරනු ලබන්නේ සමාජය විසින්ම බව පිළිගැනීමට අපට සිදුවේ.


         විටින් විට බලය හොබවන ලද ප්‍රධාන පක්ෂ දෙක ද, ජනතා විමුක්ති පෙරමුණ ද,ජ. වි. පෙ. කැරැල්ල මර්ධනයේ දී සමහර වාමාංශික කොටස් ද, උතුරේ සන්නද්ධ සංවිධානද යන මේ සියළු දෙනාම සැළසුම් සහගත මිනිස් ඝාතන සිදු කර ඇත. මේ නිසාම මෙවැනි මිනිස් ඝාතන වලට විරුද්ධ වීමේ ඇත්ත හැකියාවක් මේ කිසි කෙනෙකුට ඇත්තේ නැත. එක් පාර්ශවයක් විසින් සිදු කරන ලද මිනිස් ඝාතන ගැන චෝදනා එල්ල කිරීමේ දී, චෝදනා එල්ල කරන ලද පාර්ශවය විසින් කරන ලද මිනිස් ඝාතන ගැන ප්‍රති චෝදනා එල්ල කිරීම මගින් තමන්ට චෝදනා එල්ල කරන පාර්ශවය නිහඬ කිරීම හෝ හඬ බාල කිරීම කරනු ලබයි.මේ නිසා සෑම දේශපාලන පක්ෂයක්ම කරනු ලබන්නේ මෙම මිනිස් ඝාතන තම දේශපාලන ව්‍යපෘතියේ ප්‍රචාරණය සඳහා පමණක් යොදා ගැනීමයි.අවසානයේ සිදු වන්නේ කිසියම් දේශපාලන කඳවුරක බලය තහවුරු කර ගැනීම සඳහා ඝාතනය කරන ලද මේ මිනිසුන්ගේ නාමයන් සියළුම දේශපාලන කඳවුරු  ශක්තිමත් කරන සංකේත බවට පත්වීමයි.


       වැඩවසම් යුගයේ දී වැරදිකරුවන් නිවැරදිව හඳුනා ගැනීමට දියුණු ක්‍රම වේද තිබුනේ නැත. එකම ක්‍රමය වූයේ රජුට දැනෙන ආකාරයයි.‍මෙවැනි නොදියුණු ප්‍රාථමික ක්‍රම භාවිතා වු යුගයන්හීදී අහිංසක මිනිසුන් දස දහස් ගණන් නිකරුනේ දඬුවම් වින්දා නිසැකය.නමුත් අප එවැනි නොදියුණු ක්‍රමවේද අත්හැර බොහෝ  කල් ගත වී ඇත.නැවතත් එවැනි යුගයකට යාමට කිසිවෙකු හෝ  කැමති නොවනු ඇත.එහෙයින්ම කුමන තරාතිරමක පුද්ගලයෙකු කුමන වරදක් කළත්  දඬුවම් දීම පවතින දියුණු විද්‍යාත්මක ක්‍රම වේදයන්ට අනුකූල විය යුතුය.එසේ නොමැතිව කිසිවෙකුට සැක සිතූ පමණින් තවකෙකුට දඬුවම් දීමට අයිතියක් ඇත්තේ නැත.කුමන හෝ හේතුවක් නිසා හෝ බල්ලන් බළලුන් මෙන් පාරවල් මැද මිනිසුන්ට වෙඩි තබා මරා දැමීමට එසේත් නැතිනම් පැහැරගෙන ගොස් වදහිංසා කිරීමට කිසිවෙකුටත් අයිතියක් ඇත්තේ නැත.එවැනි බලයක් මෙරට පුරවැසියන් විසින් කිසිවෙකුටත් ලබා දී නැත.අප විසින් අවබෝධ කර ගත යුතු සත්‍ය මෙයයි.අප එය අවබෝධ කර නොගන්නාතාක් කල් පාලකයන්ට රිසි සේ මිනිස් ඝාතන සිදු කරමින් යහමින් කල් ගත කරමින් සිටිය හැකිවනු ඇත.


         1971 සිට මේ දක්වා අප ගත කල අඳුරු කාළ පරිච්ඡේද වල දී සිදු වූ ම්ලේච්ඡ අපරාධ වෙනුවෙන් කිසි දිනෙක යුක්තිය ඉෂ්ඨ නොවනු ඇත.මෙය විපතට පත් වූවන් විසින් අවබෝධ කර ගත යුතුය.නමුත් අපට එක් දෙයක් කල හැක. එනම් එවැනි දෑ නැවත සිදු නොවීම සඳහා කටයුතු කිරීමයි.ඒ සදහා ප්‍රථම කොටම අපරාධය හා දඬුවම සම්බන්දයෙන් ඇති අපගේ නොදියුණු ආකල්ප වෙනස් කර ගත යුතුය.ඉන් අනතුරුව පක්ෂ, පාට, ජාති, භේදයකින් තොරව මෙවැනි තත්වයන්ට විරුද්ධ වීමට එක් පිළකට එකමුතු විය යුතුය. අපගේ මාතෘ භූමිය ශිෂ්ඨ සම්පන්න ශීලාචාර නීති ගරුක රටක් වනු ඇත්තේ එවිටයි.
(ප්‍රගීත් එක්නැළිගොඩ විසින් ඇඳි ඉහත චිත්‍රය බාගන්නා ලද්දේ විකල්ප වෙබ් අඩවියෙනි.)

1 comment: