Saturday 30 November 2019

ලැජ්ජාව



“ ලැජ්ජා බය ඇතිව හැදෙන්ඩ ඕනේ“. මේ වාක්‍යය නිතර අපේ වැඩිහිටියන් ගේ මුවින් පිටවෙන ඔවදනකි. කළින් මා සේවය කල කුරුණෑගල සුපර් ස්ටාර් ආයතනයේ ප්‍රධානියාද සේවකයන් සමඟ කෝපයෙන් සිටින විට මා සමඟ  නිතර පවසන දෙයක් නම් , “ විපුල මල්ලි මනුස්සයෙක්ගේ ලැජ්ජාව නැති උනාට පස්සේ ඒ මනුස්සයගෙන් වැඩක් නෑ“  යන්නයි.මෙයින් පෙනෙන්නෙ අවශ්‍ය තරමට ලැජ්ජා වීම හොඳ ගුණධර්මයක් බවයි. නමුත් අනවශ්‍ය තරමට ලැජ්ජා වීම සහ අනවශ්‍ය තරමට ලැජ්ජා නැති වීම ද බරපතල ගැටළුකාරි තත්වයන් මතු කල හැකිය.


ඉහත අවස්ථා දෙකෙහිදීම කියවෙන්නේ ,ලැජ්ජාව හුදු පුද්ගල ගුණාංගයක් වශයෙන් ඇති වැදගත්කමයි.මේ ලිපියෙන් මා විස්තර කිරීමට උත්සාහා කරන්නේ ලැජ්ජාව යනු පුද්ගල චර්යා රටාවකට එහා ගිය. සමාජීය වශයෙන් ඉතා වැදගත් ගුණාංගයක් බවයි.එනම් තනි තනි පුද්ගලයන් වශයෙන් නොව කණ්ඩායමක් වශයෙන් එකතු වූ විට මෙහි කොතරම් වැදගත්කමක් දරනවාද යන්නයි. තවත් පුළුල් ලෙස පවසනවා නම්, යම් කිසි ජාතියක් තමන් විසින් අවුරුදු දහස් ගණනක සිට පවත්වාගෙන එනු ලබන තම සංස්කෘතිය තුල ලැජ්ජාව යන ගුණාංගය කෙතරම් දුරකට වර්ධනය කරගෙන ඇත් ද සහ එය සමාජ ප්‍රගමනය සඳහා කෙතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවාද යන්නයි.


ලැජ්ජාව යනු යම් කිසි කාර්යයක් කිරීමේ දී එයට එරෙහිව එය නොකර සිටීම සඳහා පැන නඟින ප්‍රති විරෝධයයි.තමන් කරන දෙය නිවැරදි නොවේ යන සිතිවිල්ල හෝ සැකය හෝ දෙගිඩියාව මෙයට හේතුවයි.ඉතාම කුඩා අවධියේ හැරෙන්නට අප ඉන්නේ ඇඳුමින් විලි වසා ගෙනයි.නමුත් වැඩිවියට පත් වී ලිංගික සම්බන්ධතා කරා යොමු වූ විට මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඇදුම් ඇඟ වටා දවටාගෙන එය වින්දනය නොහැක.කිසිවෙක් ලඟ සිටියද නොසිටියද  මිනිසුන් සිටින්නේ අඳුම් ඇඟ දවටාගෙනයි.ප්‍රථම වරට එය වෙනස් වන අවස්ථාවේ දී බොහෝ මිනිසුන් ලැජ්ජාවට පත් වේ.මෙය කෙතරම් මනසේ තැන්පත් වී ඇත් ද යත් සම්පූර්ණ අඳුරේ ලිංගික සම්බන්ධතා පවත්වන මිනිසුන්ද ඇඳුම් උනා නොදමා ලිංගික සම්බන්ධතා පවත්වන මිනිසුන් පමණක් නොව  විවාහ වී වසර දෙකක් යනතෙක් කායික සම්බන්දතා නොපැවැත් වූ  යුවලක් ද මට මුණ ගැසී ඇත. මෙයට හේතු වන්නේ විළි වසා ගැනීම සම්බන්දයෙන් අප සංස්කෘතිය තුල ඇති කර ගත් සම්මතයන්ය.එම සම්මතය අප විසින් බිඳ නොදමන්නේ  අප සිත තුළ හට ගන්නා ලැජ්ජාව හේතු කොට ගෙනයි.ශිෂ්ඨ මිනිසුන් ලෙස අපව ඇඳ බැඳ තබා ගන්නා ප්‍රධාන යදම වන්නේ ලැජ්ජාවයි.


නමුත් විවිධ ජන වර්ග විසින් පවත්වාගෙන එනු ලබන සංස්කෘතින් තුල ,ඔවුන් විසින් වර්ධනය කර ගත් ලැජ්ජාවේ පරිමාණය එක සමාන වන්නේ නැත.ඇඳුම් පැළඳුම් අතින් ගතහොත් අප තවමත් සිරුරේ වැඩි හරියක් ආවරණය කර ගැනීමට රුචිකත්වයක් දැක් වුවද  බටහිර ශිෂ්ඨාචාරයන් තුල ඇත්තේ අපට වඩා නිදහස්කාමී සිතිවිලිය.විළි වසා ගැනීම සම්බන්දයෙන් ඔවුන්ගේ සහ අපගේ ලැජ්ජාවේ ස්වභාවය සමාන වන්නේ නැත.නමුත් මීට සියවසකට පෙර ඔවුන් සිටියේ ද අද අප සිටින තැනයි.කාළයාගේ ඇවෑමෙන් ඔවුන් විසින් පවත්වාගෙන ආ එම සම්මුතිය වෙනස් කර ගෙන ඇත.කෙසේ වෙතත් මෙවැනි සමාජ සම්මුතීන් එකවර ක්ෂණිකව වෙනස් කිරීමේ හැකියාවක් ඇත්තේ නැත. එවැනි උත්සාහයක් දරන පුද්ගලයාට සමාජයෙන් එල්ලවන විරෝධයට හෝ නීතියෙන් දඬුවම් විඳිමට සිදුවිය හැකියි.


නීතිය බිහිවීමේ මූලාරම්භයද මෙය විය හැකියි.මුලින්ම ඇති වන්නට ඇත්තේ සමාජ සම්මුතීන් විය යුතුය.එවැනි සම්මුතීන් බිඳදමන පුද්ගලයන් පාලනය කිරීම උදෙසා නීතිය බිහිවන්නට ඇති.කෙසේ වෙතත්  කිසියම්  සමාජයක් කෙතරම් ශිෂ්ඨ සම්පන්න වන්නේද යන්න තීරණය කරනු ලබන ප්‍රධාන සාධකය වන්නේ නීතිය නොවන බව මගේ හැඟීමයි.ශීලාචාර ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහිවීමේ ප්‍රධානම සාධකය වන්නේ අප තුල වගා කර ඇති ලැජ්ජාශීලී භාවයයි.අප වැරදි නොකිරීමේ ප්‍රධානම  හේතුව වන්නේ, අප විසින් ඇති කර ගත්තා වූ පොදු එකඟතාවයන්ට එරෙහි වීමට ඇති ලැජ්ජාශීලි භාවයයි.වඩා පුළුල් අර්ථයකින් පවසනවා නම් යම් කිසි රටක ඇති සංස්කෘතිය හෝ සංස්කෘතීන්  විසින්  එරට පුරවැසියා තුල ඇති කර තිබෙන මෙම ලැජ්ජාශීලී බවේ පරිමාව අනුව එරට කෙතරම් විනය ගරුක ද, නීති ගරුකද, කෙතරම් ශිෂ්ඨ සම්පන්න රටක් ද යන වග තීරණය කරනු ලබයි.දැන් අපට අපේ රටේ ඇති  ප්‍රධාන ගැටළුව මේ අනුව විග්‍රහ කර ගත හැක.


මට දැනෙන ආකාරයට ලංකාවේ ඇති බරපතලම ගැටළුව වන්නේ, ලංකාවේ මිනිසුන් විශාල ලෙස වංචාවට හා දූෂණයට යොමු වී තිබීමයි.ඔවුන් කිසි විටෙකත් තමන් විසින් කරනු ලබන කාර්යයට අවංක වන්නේ නැත.ජනාධිපතිගේ සිට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා දක්වාද , ඉහලම රාජ්‍ය නිලධාරයාගේ සිට කාර්යාල කාර්ය සහයක දක්වාද,පුරවැසියන්ගෙන්  ගණන් ගත නොහැකි සුළු පිරිසක් හැරුනු කොට අනෙකුත් සියල්ලන්මද හුරු වී ඇත්තේ අයථා ලෙස ධනය ඉපයීමටයි. නමුත් ඉඳහිට හෝ ඇහෙන්නේ ජනතා නියෝජිතයින්ගේ වංචා සහගත ක්‍රියා ගැන පමණි.සාමාන්‍ය පුරවැසියන් විසින් සිදු කරනු ලබන වංචා සහගත ක්‍රියා ගැන සාකච්ඡාවක් ඇති  නොවන තරම්ය.අයථා ලෙස ධනය උපයන ජනතා නියෝජිතයින්ට  චෝදනා එල්ල කරනු ලබන්නේද උදේ සිට රෑවෙනතුරු තුන්සිය හැටපස් දවසේම  හොරකමෙන්ම ජිවත්වෙන සාමාන්‍ය පුරවැසියන්ය. මෙය සිරුර පුරා පැතිර ගිය කුෂ්ඨ රෝගයක් වැනිය.එය ශ්‍රී ලංකා මාතාව අවලස්සන කරනවාට අමතරව එහි වසන සියල්ලන්වම දැඩි පිඩාවට පත්කරනු ලබයි.


ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෙකු හා කොළඹ මීගමුව ධාවනය වන බස් රථයක් ඇතුළු වාහන අටක හිමිකරුවෙක් වූ මාගේ මිතුරෙකු සියළු වාහන විකුණා දමා එක් වාහනයක් පමණක් තබාගෙන ව්‍යාපාර කටයුතු කරන්නේ සේවකයන් ගේ වංචා සහගත ක්‍රියා දරා ගැනීමට නොහැකි තැනයි.දිනපතා පොදු ප්‍රවාහන සේවය තුල සිටින කොන්දොස්තරවරුන් විසින් කරනු ලබන හොරකම් නිසා බස් රථ හිමියන්ට දිනක දී අහිමි වන මුදල රුපියල් කෝටි ගණනක් විය හැකිය.ඔබ හොඳ වානේ පිහියක් සාදා ගැනීමට  වානේ කැබැල්ලක් කම්මලට දුනහොත් පෙරළා ඔබට ලැබෙන්නේ යකඩ පිහියක් මිස වානේ පිහියක් නොවේ.පොල් අපගේ ප්‍රධාන වැවිලි බෝගයක් වුවද, පිරිසිදු පොල් තෙල් හෝ හොඳ තත්වයේ පොල් පැණි හොයා ගැනීමට ඇත්තේ නැත. කිතුල් පැණි හා කිතුල් හකුරු ගැනද කීමට ඇත්තේ ද එම කතාවමය.හොඳ එළකිරි ටිකක් ,මුදවපු මී කිරි ටිකක් විශ්වාසයට සොයා ගැනීමට ඇත්තේ නැත.මේ සාමාන්‍ය මිනිසුන්ගේ කතාවයි.අවාසනාවකට අපගේ වෘත්තිකයන්ගේ තත්වයද මිට දෙවෙනි නොවේ.අදායම් බදු නිලධාරියාගේ වගකීම වන්නේ රජයට ආදායම් බදු එකතු කර දිම වුව ද ඔහු කරන්නේ ආදායම් බදු සිදුරෙන් රිංගා යන්නේ කෙසේදැයි මිනිසුන්ට කියා දී ඒ වෙනුවෙන් මිනිසුන්ගෙන්  මුදල් ලබා ගැනීමයි. රේගුවේ එක් වගකීමක් වන්නේ තීරු බදු එක් රැස් කරමින් රජයට ආදායම් ලබාදීම වුවද රේගු බදු නිලධාරියා කරන්නේ ද එම නීති වලින් රිංගා යාමට සලස්වා ඒ වෙනුවෙන් ඔහු  මුදල් ලබා ගැනීමයි.රෝග නිෂ්චය කිරීම සඳහා ලබා ගන්නා රසායනාගාර  දත්ත වාර්ථාවේ නිවැරදි භාවය අදාල වෛද්‍යවරයා විසින් සහතික කල යුතුය.නමුත් වෛද්‍යවරයා කරනු ලබන්නේ රසායනාගාරයට තම නිල මුද්‍රාව ලබා දී මසකට මුදලක් ලබා ගැනීමයි.ලංකාවේ තාර දමා සකසා ඇති කිසිම මාර්ගයක් නියම ප්‍රමිතියට නිමා කොට නොමැති බව පසු ගිය කාලයේ පුවත් වාර්තා වන් හි පෙන්වා දි තිබුනි.මාර්ගය සාදා නිම විමෙන් පසු රජය එය බාර ගන්නේ,අදාල ඉංජිනේරුවා විසින් ප්‍රමිතිය පිළිබඳ දෙන සහතිකය මතයි.එවැනි තත්වයක් මත මෙවැනි දෙයක් වන්නේ කෙසේ ද? ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ප්‍රමිතියෙන් තොරව සකසා ඇති මාර්ගය නියමාකාරයෙන් නිමවා ඇති මාර්ගයක් ලෙස සහතික කොට ඉංජිනේරුවරයා විසින් කොන්ත්‍රාත් කරුගෙන් මුදල් ලබා ගැනීමයි. මෙම ලැයිස්තුව තව ඕනෑ තරම් දිගට ලිවිය හැකිය.මෙයින් පෙනෙන්නේ, ලංකාවේ මිනිසුන් උගත් නූගත් බේදයකින් තොරව අයථා මුදල් උපයන අකාරයයි.


පසුගිය දිනෙක කොටුව දුම්රියපළේ මා රැඳී සිටියේ නිවස කරා පැමිණීමටයි.එම වේලාවට නියමිතව තිබුනේ හැටන් දුම්රිය වුවද වේලාව ලංවන විට නිවේදනය කර සිටියේ දුම්රිය තරමත් ප්‍රමාද වන බවයි.ඊට පසු තිබූ පොල්ගහවෙල මන්දගාමි දුම්රියෙන් වේයන්ගොඩින් බසින තුරුත් හැටන් ශීඝ්‍රගාමී දුම්රිය අප පසු කර ගියේ නැත.වේයන්ගොඩ දුමිරියපළේ සටහන් කර තිබුනේ දුම්රිය පැයක් ප්‍රමාද වන බවයි. පැයක් යනු විශාල කාළයකි.අද පවතින කාර්ය බහුලත්වය විසින් කාළයේ වටිනාකමේ අගය ඉහල දමා ඇත.මේ නිසා මගීන් කෙතරම් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට ඇත්ද?මගීන් මෙම සේවාව ලබා ගන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුවයි.දුම්රිය දෙපාර්තමේන්තුව සිය සේවාව ලබා දීම වෙනුවෙන් මුදල් අය කරයි.එසේ වීත් සිය සේවා දායකයා අපහසුතාවයට පත් වීම පිළිබඳව බලධාරීන්ට තදබල ලැජ්ජාවක් ඇති විය යුතුය.නැවත වරක් එම වරද සිදු නොවෙන්නේ අදාල බලධාරින්ට එවැනි ලැජ්ජාවක් ඇති වුව හොත් පමණි.නැවත නැවතත් එම වරද දිගින් දිගටම සිදුවීමෙන් පෙනී යන්නේ අදාල බලධාරීන්ට තම වගකීම හරියාකාරව ඉටු  කිරීමට නොහැකි විම පිළිබඳව කිසිම ලැජ්ජාවක් ඇති වී නැති බවයි.මෙම ලිපියේ මුලින් සඳහන් කළ කම්මල් කරුවාද මෙම දුම්රිය බලධාරීන් ද තම වෘත්තීය වගකීම කෙලෙසිම අතින් සිටින්නේ එකම තැනයි.ඔවුන් දෙදෙනා අතර කිසි වෙනසක් ඇත්තේ නැත. ඔවුන් දෙදෙනාම සිය ආයතන  අවමානයට ලක්කරයි.සිය ආයතනයේ ගෞරවය කෙලෙසා දමයි.මෙසේ වන්නේ තම ජිවිත තුල ලැජ්ජාව නැමැති ගුණාංගය අවශ්‍ය පමණට වර්ධනය වී නොමැති විට බව මාගේ හැඟීමයි.


ජනතා නියෝජිතයිනට දූෂණ චෝදනා එල්ල වූ සැනින් සිය පදවියෙන් ඉල්ලා අස් වීමේ සම්ප්‍රදාය ලොව බොහෝ රටවල පිළිපදින සම්ප්‍රදායයි.පරීක්ෂණ වලට පෙරම චූදිතයා සිය දිවි නසා ගැනීමේ හෝ උත්සාහ කළ අවස්ථා ද අප අසා ඇත.අපේ රටේ මෙවන් තත්වයන් දක්නට නොලැබෙන්නේ ඇයි? ලොව බොහෝ ශිෂ්ඨාචාරයන් තුල, විශේෂ‍යෙන්ම බටහිර රටවල් තුල හොරකම සැලකෙන්නේ ඉතා නින්දා සහගත පහත් ක්‍රියාවක් ලෙසයි.මෙය ඔවුන් විසින් අවුරුදු දහස් ගණනක සිට වර්ධනය කර ගත් යහපත් ශිෂ්ඨාචාරමය ගතිලක්ෂණ වල ප්‍රතිඵලයන්ය.එවැනි සමාජයක වංචනික පුද්ගලයෙකුට පැවැත්මක් ඇත්තේ නැත.ඔහුට හෝ ඇයට සිදුවන්නේ සමාජයෙන් එල්ල වන දැඩි පිළිකුලට භාජනය වීමටයි.එම පුද්ගලයා ජනතා නියෝජිතයෙකු නම් ඔහුගේ දේශපාලන දිවිය එතනින්ම නිම වනු ඇත.සමාජයේ පිළිකුලට භාජනය වී ජීවත් වනවාට වඩා සිය දිවි නසා ගැනීම යහපත් යැයි සිතෙන්නේ එම ප්‍රතිචාර එතරම්ම දැඩි වීම හේතුවෙනි.ලංකාවේ දි නම් සිදුවන්නේ මෙහි අනෙක් පැත්තයි. එනම් චූදිතයා ඉතා ප්‍රීතියෙන් සිය මාංචු මහජනයා වෙත ප්‍රදර්ශනය කර සිටීමයි.නීතිය කෙසේ වෙතත් ඊලඟ මැතිවරණයෙන් හෝ මොහු ප්‍රතික්ෂේප වන්නේ නැත.මෙය අපගේ ශිෂ්ඨාචාරය විසින් අප වෙත ගොඩ නගා ඇති ලැජ්ජාවේ පරිමාව පෙන්වන හොදම කැඩපතයි.


ආඩම්බර විය හැකි ශිෂ්ඨාචාරයක් අපට ඇත.ආඩම්බර වන අතරම එහි ඇති සීමා සහිතකම් ගැන ද අප විසින් අවබෝධ කර ගත යුතුය.සමහර අංශ එහි හොඳින් වර්ධනය වුව ද, සමහර අංශ නූතනත්වයට ගැලපෙන අයුරින් වර්ධනය වී නොමැත.එවැනි තත්වයන් අප විසින් පිළිසකර කර ගත යුතුය.එසේ නොකොට ලෝකයා සමඟ අපට එකට ගමන් කල නොහැකි වනු ඇත.ලෝකයා ඉදිරියේ නොදියුණු ගෝත්‍රිකයින් ලෙස පෙනීම වලක්වා ගත හැක්කේ එවිටයි.

No comments:

Post a Comment