Tuesday 19 November 2019

ජනාධිපතිවරණ ප්‍රතිඵල තුලින් මතුවන අනාගත අභියෝග



මහ වනයක් මැද දින ගණනාවක් පුරා අතරමං ව සිට යළි ගමන ආරම්භ කළ තැනටම පැමිණ ඇත.මේ බොහෝ ශ්‍රී ලාංකිකයින් එම සතුට භුක්ති විඳින අවස්ථාවයි.නමුත් මට සතුටක් දැනෙන්නේ නැත.මට දැනෙන්නේ  කණගාටුවක් පමණි..මගේ මතය වූයේ කෙසේ හෝ වනය මැදින් පාර සොයා ගත යුතු බවයි.නමුත් එය කරන්නේ කෙසේදැයි මම දැන සිටියේ නැත.ඒ නිසාම බහුතරයේ කැමැත්ත පිට යළිත් මුලටම පැමිණීමට සිදුව ඇත.



තවත් එක් ජනාධිපතිවරණයක් අවසන් වී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වී ඇත.ඒ සජිත් ප්‍රේමදාස මහතාට වඩා ලක්ෂ දාහතරක වැඩි ඡන්ද ප්‍රමාණයකිනි.එය විශාල ජයග්‍රහණයකි.නමුත් මෙම විශාල ජයග්‍රහණය පිටුපස විශාල පරාජයක් ද සනිටුහන් වී තිබේ.එනම් රාජපක්ෂ මහතාට මෙරට සුළු ජාතීන්ගේ අවම විශ්වාසය හෝ දිනා ගැනීමට නොහැකි විමයි.මෙය ඉතා බරපතල ගැටළුවකි.එය එසේ වූයේ ඇයි.රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛ කාර්යයන් අතර එය සොයා බැලීමට ඉඩක් වෙන් විය යුතුය.බිඳ වැටී ඇති විශ්වාසය  නැවත දිනා ගැනීමට කටයුතු කල යුතුය.රටේ සිටින සියලුම වාර්ගිකයින්ගේ විශ්වාසය දිනා ගත නොහැකි නායකයාට සාර්ථක ජන නායකයෙක් විය නොහැක.මා හිතන ආකාරයට රටේ ඇති බරපතලම ගැටළුව වන්නේ අප බෙදුනු ජාතියක් වීමයි.එම ගැටළුවට පිළිතුරු නොසොයා අපට ඉදිරියට යා නොහැක.රටේ සිටින සියළු ජන වර්ග වල විශ්වාසය දිනා නොගන්නා නායකයා මෙම ගැටළුවට පිළිතුරු සොයන්නේ කෙසේද?අප ඉදිරියේ ඇති ලොකුම අභියෝගය එයයි.


දෙමල හා මුස්ලිම් ඡන්ද රාජපක්ෂ මහතාට නොලැබීම සම්බන්දයෙන් විවිද අපහාසාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වේ.නමුත් සිවාජිලිංගම් ප්‍රතික්ෂේප කළ දෙමළ ජනයා සිය ඡන්දය භාවිතා කොට ඇත්තේ සිංහල බෞද්ධ සජිත් වෙතයි.හිස්බුල්ලා ප්‍රතික්ෂේප කළ මුස්ලිම් ජනයා සිය ඡන්දය භාවිතා කර ඇත්තේ ද සිංහල බෞද්ධ සජිත් වෙතයි.මෙය අමතක වූවා ද හිතා මතා අමතක කලාද?


රාජපක්ෂ මහතා දිනා ඇත්තේ කාසියේ වාසිය පමණි.තරඟය ඇරඹෙන්නේ 18 වනදා සිටයි.තරඟයේ ජය පැරදුම තීරණය වනුයේ දහ අට වනදා සිට තරඟ කරනු ලබන ස්වභාවය අනුවයි.මෙම තරඟයේ විශේෂ ලක්ෂණය වන්නේ පිතිකරුවාට ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් ද එනම් තමන්ට විරුද්ධව ඡන්දය භාවිතා කල ජනයා ද ජයග්‍රහණය කරා රැගෙන යාමට සිදු වීමයි.එසේ නොවී තමන්ට විරුද්ධව ඡන්දය භවිතා කල පිරිස දෙස වෛරයෙන් හා කෝපයෙන් කටයුතු කිරීමට ගියහොත් මෙම තරඟය කිසි දිනෙක ජයගත නොහැකි වනු ඇත.සිංහල ඡන්ද වලින් පමණක් ජයගැනීමට හැකිවිමේ සතුට ප්‍රකාශ වුවද සියළු ජනවර්ගයන්ගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීම සතුටු විය හැකි කරුණක් නොව නැවත නැවතත් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කරුණකි.විශේෂයෙන්ම මෙවැනි තත්වයක් තුල රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ බලවේගයන්ගේ සිරකරුවෙකු එසේත් නැත්නම් ගොදුරක් විය හැක.මක්නිසා ද රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කර වූයේ සිංහල ජාතිවාදී බලවේගය වන බැවිනි.මෙය 1956 නැවත රඟ දැක්වීමක් ද? 


බණ්ඩාරනායක මහතා බලයට ඒමට උපයෝගී කොට ගත්තේ ද ජාතිවාදී බලවේගයයි.මැතිවරණ ව්‍යපාරය තුල කුමක් කිව හැකිව තිබුනද රටේ නායකයා බවට පත් වූ පසුව එම ජාතිවාදී බලවේගයේ අභිලාශයන් ඉටු කිරීමේ ඇත්ත හැකියාවක් අගමැති බණඩාරනායකට තිබුනේ නැත.අවසානයේ මේ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස බණඩාරනායක මහතාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර සමාජයට ලොකු ලේ වන්දියක් ගෙවීමට සිදු විය.රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්විමද පනස් හයේ සිදුවීමට බෙහෙවින් සමානය.රාජපක්ෂ මහතා බලයට පත්විමට උපයෝගී කොට ගත්තේ ද ජාතිවාදී බලවේගයයි.ඔවුන්ගේ අභිලාශයන් ඉටු කිරීමට ජනාධිපතිවරයා කෙතරම් දුරට සමත් වේ ද?රටේ සියළුම පුරවැසියන්ගේ නායකයා වශයෙන් ජනාධිපතිවරයාට එය කෙතරම් දුරකට ඉටු කළ හැකි වේද?මෙම ජාතිවාදී බලවේගය විසින් රට කුමන දිශාවකට ගෙනයනු ඇත්ද?ඒ වෙනුවෙන් අපට අනාගතයේ දී කුමන වන්දියක් ගෙවීමට සිදුවනු ඇත් ද?  

3 comments:

  1. ඔබ පෙන්වා දී ඇති කරුණු සත්‍යයකි. අප මුහුන දී ඇත්තේ ඉතිහාසයේ අන් කවර මැතිවරනයකටත් වඩා ඉතා ඛේදනීය මැතිවරන ප්‍රතිපලයකටය. පැහැදිලි බෙදුම් රේඛාවකින් සිංහල බෞද්ධ සහ මුස්ලිම්,දෙමල ජනතාව වෙන් කර ඇත. මෙය නිවැරිදිව කලමනාකරනය නොකොලහොත් අපේ රට සෑම අතින්ම අඝාධයකට ගමන් කරනු ඇත.හරි හමන් නිෂ්පාදන ආර්තිකයක් හෝ අපනයනයක් නැති අපේ රට යන්තම් දිවි ගලවා ගන්නේ මැද පෙරදිග වහල් සේවයෙන් ලැබෙන මුදලින් හා විදේශ නය වලිනි.
    අධ්‍යාපනයද ඛේදවාචකයකි අපොස සාමාන්‍ය පෙල සඳහා ලක්ෂ හය හමාරකට ආසන්න සිසුන් ප්‍රමානයක් ඉදිරිපත්වී අපොස උසස් පෙල දක්වා සුදුසුකම් ලබන්නේ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමානයකි. එයිනුත් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන්නේ විසිහය දහසකට ආසන්න ප්‍රමානයකි. මේ ඉතිරිවන සිසුන්ගේ අනාගතය කුමක්ද? අධ්‍යාපනය සඳහා යම් සාධනීය පියවරවල් කීපයක් පසුගිය රජයෙන් ගත් බවත් කිව යුතුය. මෙවැනි ඛේදනීය තත්වයන් සියලුම ක්ෂේත්‍රයන් තුල පවතී. ඒවා සවිස්තරව ලිවිය හැක.එහෙත් මේවාට විසඳුම් මෙවැනි මිලිටරි පන්නයේ රජයකින් ලබා ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete