Monday 11 November 2019

ඇමරිකන් කොරිඩෝවේ දී ලත් මාර පරාජය



       ඒ 1980 හෝ 1981 වසරයි. මා හයවන සහ හත්වන පන්තිවල ඉගෙන ගත් වසර දෙකයි. මා මිතුරු ධම්මික දිනක් මා වෙතට පැමිණ පැවසූවේ ගුවන් තොටුපලේ කුණු දමන්නේ තමන් සිටින ප්‍රදේශය  කිට්ටුව බවත් එම කුණු ගොඩෙහි තිබෙන කාන්තාවන්ගේ සනීපාරක්ෂක  තුවා ළමුන් නොදන්නා කමට හිසේ පැළඳගෙන සෙල්ලම් කරන බවත්ය.කාන්තාවකගේ සිරුර තුල සිදුවන එම ක්‍රියාවලිය ගැන ඒ වන විට මා හට දැනුමක් තිබුන ද කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම ඒ වනවිට අසා තිබුනේ නැත.අපගේ වචන මාලාව තුල පෑඩ් හෝ සනීපාරක්ෂක තුවා යන වචන තිබුනේ ද නැත.ඒ නිසා මම ධම්මිකට පවසා සිටියේ මා නොදන්නා මෙය මට ගෙනවිත් පෙන්වන ලෙසයි.අද ද  විශ්වාසවන්ත මිතුරකු ලෙස සිටින ධම්මික විසින් එය අකුරටම ඉටු කරන ලදී.කඩෙන් මිල දී ගන්නා සනීපාරක්ෂක තුවා ගැන මම මුල් වරට දැන ගත්තේ එදිනයි.



       සජිත් ගේ විරුද්ධවාදින්ට සනිපාරක්ෂක තුවා කතාව පෙනුනේ අනිවාර්යයෙන්ම හයේ පහරක් එල්ල කල හැකි ෆුල් ටොස් පන්දුවක් ලෙසය.මේ නිසා ඔවුන් මුළු වැර යොදා පහර එල්ල කල ද සිදු වූයේ  එය උඩ පන්දුවක් බවට පෙරළි  දැවී යාමයි.කිසිවෙකු අපේක්ෂා නොකල පරිදි මෙම මාතෘකාව බුද්ධිමය තලයේ සංවාදයට ලක්විය.දේශිය අත්දැකිම් පමණක් නොව විදේශිය අත්දැකීම් පවා හුවමාරු විය.ඔසප් සමයේ කාන්තාවන් විසින් මුහුණ දෙනු ලබන ගැටළුකාරී තත්වයන් ගැන  විවිධ රටවල සිදුවන කතාබහ අන්තර්ජාලය හරහා බෙදා හදා ගන්නට විය.ලෝකයේ බොහෝ රටවල ඒ සම්බන්දයෙන් සිදුකර ඇති පර්යේෂණ දත්තයන් මේ මොහොතේද සංසරණය වෙමින් පවතී.සජිත් විසින් මෙම ප්‍රකාශය කරන්නට ඇත්තේ හුදු ඡන්ද ලබා ගැනීමේ සරල අර්ථයෙන් වුවත් එයින් සමාජය ලැබූ උත්තේජනය නතර වූයේ ඵලදායි සංවාදයකට පරිසරයක් නිර්මාණය වීමෙනි.මෙයින් සිදු වූ වඩාත්ම යහපත් දෙයනම් දේශපාලන අවස්ථාවාදය හා පටු ගෝත්‍රික මානසිකත්වයෙන් හෙබි කොටස් විසින් ලැබූ පරාජයයි.


       දේශපාලන අවස්ථාවාදීන් පරාජය ලැබූ අනෙක් අවස්ථාව වන්නේ  M.C.C.  ගිවිසුම ගැන සිදු වූ කතිකාවේදීයි.මෙවැනි අවස්ථාවක සැබෑ තතු පහදා දීම රජය වෙතින් සිදු කළ යුතු වුවත්, බොහෝ විට එය එසේ වන්නෙ නැත.රජය එසේ අසාර්ථක වත් දී ඊට පිටින් ගිවිසුම ගැන විවිධ සංවාද , විශේෂයෙන් අන්තර්ජාලය හරහා සිදු විය.මෙම සංවාද කෙතරම් තියුණු වූයේ ද යත් ගිවිසුම ගැන මහා බියක් මහජනයා තුල ඇති කිරීමට සමත් වූ තිස්ස ජනනායකගේ යූ ටියුබ් වීඩියෝව පවා ඉවත් කර ගැනිමට ඔහුට සිදු විය.මේ සම්බන්දයෙන් මා කියවූ හොඳම ලිපිය වූයේ ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ පලවූ අක්කර දෙලොස් ලක්ෂයක් ඇමරිකාවට යන ලිපියයි.


       අන්තර්ජාලය නොතිබුනා නම් මෙහි අවසානය වෙනස් අතක් ගැනීමට බොහෝ ඉඩ තිබුනි.සම්ප්‍රදායික ජනමාධ්‍ය තුල එතරම් ඵලදායි සංවාද ගොඩ නැගුනේ නැත.ඵලදායි සංවාදයක් ගොඩනැගුනේ සමාජ මාධ්‍ය තුලයි.මෙම සංවාද තුල සිටින පුද්ගලයන් ගැන බොහෝ විට කිසිවෙක් කිසිවක්ම දන්නේ නැත.රටේ සිටින නාමධාරී උගතුන් බොහෝ විට මෙහි ඇත්තේ නැත.නමක් නැති පුද්ගලයන්ට සම්ප්‍රදායික ජනමාධ්‍ය තුල දොර ඇරෙන්නේ නැත.මෙම ජනමාධ්‍ය ආයතන බොහෝමයක් ජාතිවාදීන්ගේ කෙළිබිම් බවට පත් වී ඇත.


       මෙම අවස්ථා දෙකම මට දැනෙනේනේ ඉතාම සුවිශේෂි අවස්ථාවන් දෙකක්  ලෙසයි.රාජපක්ෂ කඳවුරේ ලැඟුම් ගෙන සිටින ජාතිවාදී කොටස් ලෙහෙසියෙන් පරදින්නේ නැත.කුමන තත්වයක් යටතේ හෝ ඔවුන්ගේ මතවාදය ජයග්‍රහණය කරා මෙහෙය වීමට  සමත් වෙති.කාන්තා සනීපාරක්ෂක තුවා කතාව කෙසේ වෙතත් ජනතාවගේ ජාතික හැඟීම් සමඟ ගනු දෙනු කළ හැකි මිලේනියම් ගිවිසුම වැනි යුධ පිටි ඔවුන්ට හොඳින් හුරු පුරුදුය.එවැනි පරිසරයක් තුල ලත් මෙම ජයග්‍රහණය ඉතා විශාලය.මෙම සිදුවීම් දෙක කුඩා සිදුවීම් දෙකක් ලෙස සලකා අමතක වි යාමට ඉඩ නොදිය යුතුය.මෙය සයිබර් අවකාශයේ සැරිසරන නව පරම්පරාව විසින් ලබා ගත් ජයග්‍රහණයකි.මෙම නව පරම්පරාව වෙතින් එල්ල වන්නේ සුළු පටු අභි‍යෝගයක් නොවේ.කිසිවෙකු නොදන්නා මෙම සයිබර් වීරයින් අතින් පරාජය වන්නේ පළපුරුදු දේශපාලන ඔස්තාද්ලාය.මේ තත්වය අප විසින් හොදින් අවබෝධ කර ගත යුතුය.මෙම නව පරම්පරාව මත විශාල වගකීමක් පැටවී ඇත.එය නම් සෑම අතින්ම දුර්වල වී කඩාවැටීමට ආසන්න තත්වයක ඇති ශ්‍රි ලංකාව ශක්තිමත් රාජ්‍යයක් බවට පරිවර්ථනය කර ගැනීමයි.ඒ සඳහා මෙම සයිබර් අවකාශයේ  සටන තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටම යා යුතුය.එය කළ යුතුය. කළ හැකිය.

1 comment: