Thursday 26 March 2020

කොරෝනා සටනින් පිටමන් කළ වසංගත රෝග විශේෂඥයෝ




ජලයට වැටෙන කූඹි රොත්තක් කරන්නේ සියළුම දෙනා එකතු වී කූඹි ගුලියක් සාදා ගැනිමයි.ඉන් පසු ආධාරකයක් හමු වන තුරු සිට ජලයෙන් ගොඩ වීමයි.නමුත් ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ කූඹි ගුලියේ ඉහල සිටින කූඹින්ට පමණි.ජලය මත පාදම දරා සිටින සියළුම කූඹින්ට සිදු වන්නේ සිය වර්ගයා වෙනුවෙන් ජීවිතය පිදීමටයි.



අභියෝගයට කෙතරම් සාර්ථකව මුහුණ දෙන්නේද යන්න තීරණය වන්නේ මෙම රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති ශක්තිය මතයි.මෙම රෝගයෙන් දැඩි පීඩාවට පත්වූ සියළුම රටවල් හොඳ සුව සේවාවක් ඇති, ශක්තිමත් ආර්ථිකයක් හිමි, ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති රටවල් වේ.මිට සාපේක්ෂව ලංකාවේ තත්වය සැම අතින්ම කණගාටුදායක බව කිව යුතුය.සාමාන්‍ය තත්වයන් යටතේ පවා අපගේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යනු ලබන්නේ දහසකුත් එකක් අඩුපාඩු මධ්‍යයේයි.එවැනි වටපිටාවක් මත මෙම වසංගතයකට අප මුහුණ දෙන්නේ කෙසේද?අප ඉදිරියේ ඇති ගැටළුව මෙයයි.ඊට අමතරව රජ්‍යය අංශය අධික ලෙස දේශපාළනීකරණය විමද මෙම යාන්ත්‍රණය දුර්වල වීමට තවත් හේතුවකි.එවිට වන්නේ අවශ්‍යම සහ සුදුසුම පුද්ගලයන් බැහැරට විසි වී සුදුසුකම් නැති හෝ අඩු සුදුසුකම් සහිත  වෙනත් පුද්ගලයන් සැළසුම් සකස් කරණ සහ තීරණ ගන්නා තැන් වලට පත් වීමයි.

  
හමුදා අංශයන් මේ මොහොතේ ක්‍රියා කරන ආකාරය සැමගේ උද්ධාමයට හේතු වී ඇත.තිස් අවුරුදු යුද්ධය තුල ඕනෑම දුෂ්කර පරිසරයක සිය ජීවිතය ගැන තැකීමක් නොමැතිව ක්‍රියා කිරීමට ඔවුන් පන්නරය ලබා ඇත.ඔවුන්ගේ කැපවිම ගරු කටයුතු වුවද මෙවැනි අභියෝග ජය ගැනිමට එය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත.සුනාමි තත්වයක්,ගංවතුර තත්වයක් හෝ නාය යැමක් වැනි ස්වභාවික අපදාවකදී ශ්‍රම ශක්තියට වැඩි අගයක් ලැබුනද වසංගත රෝග මර්ධනයේදී එය එසේ වන්නේ නැත.වසංගත රෝග මර්ධනයේදි එය වඩා සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත්වේ.වසංගත රෝග මර්ධනයේද ප්‍රතිකාර අංශය සහ රෝග ව්‍යප්තිය වැලැක්විම යන අංශ දෙකම එක විට සාර්ථක විය යුතුය.එසේ නොමැතිව කිසි විටෙකත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි වන්නේ නැත.


වසංගත රෝග මර්ධන ක්‍රියාවලියේ දී ඉදිරියෙන්ම සිටිය යුතු පාර්ශව තුනකි. ඒ නම් වසංගත රෝග විශේෂඥයින්,ප්‍රජා සෞඛ්‍යය විශේෂඥයින් සහ සෞඛ්‍යය අධ්‍යපන විශේෂඥයින් වේ.නමුත් මෙම පාර්ශව තුනෙන් එකදු පාර්ශවයක් හෝ සිටිය යුතු ස්ථාන වල ඇත්තේ නැත.ඒ වෙනුවට මුල් පුටු හොබවන්නේ වසංගත රෝග සම්බන්දයෙන් විශේෂඥ දැනුමක් නොමැති වෙනත් පුද්ගලයින් විසිනි.මෙය මාරාන්තික වැරදීමක් බව කිව යුතුය.අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් නිවැරදි සැළැස්මක් තිබිය යුතුය.එවැනි සැළැස්මක් සාදා ගත හැකි වන්නේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ දැනුම ඇති පාර්ශවයන්ට පමණි.අනෙකුත් පාර්ශවයන් කළ යුතු වන්නේ සැළැස්ම සාර්ථක කර ගැනීමට තම උපරිම දායකත්වය ලබා දිමයි.


රෝගය පැතිරීම වළක්වා ගැනිමට ඇති සුදුසුම ක්‍රමය වන්නේ මහජනයා හුදකලා කිරිමයි.එනම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමයි.එහිදි ද බරපතල ගැටලු මතුවීම නොවැලැක්විය හැකිය.එනම් එදිනෙදා ජීවිතය ගැට ගහගන්නා අඩු ආදායම් ලාභී පිරිස් මුහුණ දෙන දුෂ්කර තාවයයි.යම් තරමකට හෝ මුදල් අත ඇති පිරිසට දින කිහිපයකට අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කොට ලබා ගත හැකිය.එසේ නොහැකි පිරිස් කරන්නේ කුමක්ද?රජයට මේ සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුය.හොදම ක්‍රමය වන්නේ ග්‍රාම නිලධාරීන් හරහා අඩු ආදායම් ලාභී පවුල් සඳහා බඩු මල්ලක් ලබා දීමයි.සැම ග්‍රාම නිලධාරී වසමකම සිටින පවුල් වල සියළු විස්තර ග්‍රාම නිලධාරියා සතුවේ.ප්‍රාදේශිය ලේකම් කාර්යාල මෙම වගකිම සම්පූර්ණයෙන් බාර ගත යුතුය.එසේ නොමැතිව නිතර නිතර ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගියහොත් සිදු වන්නේ වෙනදාටත් වඩා පිරිසක් කෙටි කාළයක් තුල නගරයේ සැරි සැරීම නිසා අවදානම සාමාන්‍ය තත්වයටත් වඩා වැඩි වීමයි.


සාමාන්‍ය ජනයා හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ මෙම රෝගය පිළිබඳව මහජනයා නියමාකාරයෙන් දැනුවත් වී නැති බවයි.පණිවිඩය බිම් මට්ටමට ගොස් නැත.රෝග ව්‍යාප්තිය වැළැක්වීමේදී පුරවැසියාගේ දැනුවත් භාවය අතිශයින් වැදගත්ය.සෞඛ්‍ය අධ්‍යපන විශේෂඥයින් වැදගත් වන්නේ මෙහිදීයි.මේ සඳහා උපයෝගි කොටගත හැකි ඉතා ශක්තිමත් ආයතන පද්ධතියක් අප සතුය. ඒ නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි.මේ මොහොතේද ඔවුන්ගේ කටයුතු ප්‍රශංසනිය තත්වයක ඇත.නමුත් ගැටළුව වන්නේ වසංගත රෝග නිවාරන විශේෂඥයින් විසින් සකසන ලද ශක්තිමත් වැඩපිළිවෙලක් ඔවුන් සතු නොවීමයි.


මෙවැනි වටපිටාවක විද්‍යුත් මාධ්‍ය වෙත පැවරෙන වගකිම අතිමහත්ය නමුත් සමහර විද්‍යුත් මාධ්‍ය වල හැසිරිම ඉතා කණගාටුදායකය.ස්වාධින රූපවාහිනි තුල විශේෂඥ උපදෙස් සපයනු ලබන්නේ මලිනි ෆොන්සේකා,රවීන්ද්‍ර රන්දෙනිය, සතිස්චන්ද්‍ර එදිරිසිංහ,බුද්ධදාස විතානාච්චි වැනි නළු නිලියන්ය.මෙයින් පෙන්නුම් කරනුයේ විද්‍යුත් මාධ්‍ය හසුරවන්නන්ගේ දැනුමේ පරිමාවයි.මෙම බලධාරින් තාමත් සිටිනුයේ 70  දශකයේ බව පැහැදිලිය. පුරවැසියා සිටිනුයේ ඊට බොහෝ ඉදිරියෙනි.ඔවුනට අවශ්‍ය වනුයේ නිවැරදි විද්‍යත්මක තොරතුරුයි.

No comments:

Post a Comment